මරල එල්ලුවාද? එල්ලිලා මැරුණද? දියේ ගිලී මැරුණද? මරල වතුරට දැම්මද? හොයාගන්නේ මෙහෙමයි.

ගල්ගමුව, පොලිස් ස්ථානය ඉදිරිපිට පදිංචි එම්.හේරත් නම් වූ ඔහු සනීපාරක්ෂක කම්කරුවෙකු ලෙස වසර හතළිස් පහක් රජයේ රෝහල්වල කටයුතු කොට විශ්‍රාම ලැබුවෙකි.
ඔහුගේ උපන් ගම ගල්ගමුව මී ඔය ප්‍රදේශයේ. ගල්ගමුව, පා`ළුමුව, පාළුකඩවල විද්‍යාලයට තමයි ඉස්කෝලේ ගියේ. ඉගෙන ගත්තේ හතරේ පංතියට විතරයි. විවාහ වුණේ රඹුක්කන ප්‍රදේශයෙන්. හේරත්ට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ අය ඔක්කොම දැන් විවාහකයි. ඒ අය අද හොඳ තැනකට ඇවිත් ඉන්නවා.
හේරත් තම සේවා කාලයේදී මිනී 4000ට වඩා කපා ඇති අතර ඔහු විසින් ඒ ගැන විශ්මිත තොරතුරු හෙලිකලා.මරණ පරීක්ෂණ සඳහා වෛද්‍යවරුන්ට අවශ්‍ය ශරීර කොටස් කපා දීම ඔහුගේ කාර්යයයි. ඒ ගැන ඔහු හෙලිකල විස්තර අනුව මෙම වීඩියෝව නිර්මාණය වී තිබෙනවා.

චතුර සේනාරත්න තවත් පෙරළියක. මට අවලාද නගන අයට මම ප්‍රසිද්ධියේ අභියෝගයක් කරනවා.

අන්තර්ජාලයේ සහ සමාජ ජාලා ඔස්සේ මේ දිනවල ජනප්‍රියම මාතෘකාව බවට පත්ව ඇත්තේ චතුර සේනාරත්න ගේ වීඩියෝවකි. මේ ගැන විවිධ පුද්ගලයන් විවිධ මත ඉදිරිපත් කරයි.
මීට පිළිතුරු වශයෙන් නැවත චතුර සේනාරත්න වීඩියෝවක් නිකුත්කර තිබෙනවා.
පහතින් ඇත්තේ එම වීඩියෝවයි.

ලක්දිව අවසන් රජු ඉංග්‍රීසීන්ට අසුවූ තැන

ඒ 1815 පෙබරවාරි 18 වැනිදාය. ඒ දිනය ලක් ඉතිහාසයට එක්වී ඇත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජකම් කළ අන්තිම දිනය මෙන්ම රජකම නැතිවූ ප්‍රථම දිනය ලෙසින්ය. විජය රජතුමාගෙන් ඇරඹි ලංකා රාජ වංශය නැතිවී ගිය දිනය ලෙසින්ද හැඳින්විය හැකිය. ලක්වාසීනට මෙය අමතක කළ හැකි දිනයක් නොවේ.

අවසන්වරට රජකම් කළ දිනයේ රාජසිංහ රජතුමා දේවීන් දෙදෙනකු සමඟ ලැගුම්ගෙන සිටියේ මැද මහනුවර බෝමුරේ උඩුපිටිය පෙදෙසේ හුදෙකලා ස්ථානයක පිහිටා තිබූ ආරච්චිගේ නිවසේය. ආරච්චි හා ඔහුගේ පවුලේ උදවිය රාජසිංහ රජතුමාටත් දේවීන් දෙදෙනාටත් කෑම බීම ලබා දෙමින් සංග්‍රහ කළේ ගෞරවාදරයෙනි. රජතුමා එහි සිටියදී රජුට හිතෛශී කිහිප දෙනෙක් රජු සතු විශේෂ රාජකීය භාණ්ඩ පොද්දල්ගොඩ ගමේ ගල්ලෙනක තබාගෙන ආරක්ෂා කරමින් සිටියහ. රජකම හා බැඳී තිබූ එම රාජකීය වස්තුව කෙරෙහි රජතුමා ද සුපරීක්ෂාකාරීව පසු වූයේය.

රජතුමා අල්ලාගත් බෝමුරේ වෙල්යාය .

රජතුමා අල්ලන මෙහෙයුමේ මහ මොළකාරයා වූ ජෝන් ඩොයිලි එදින සිටියේ තෙල්දෙණියේ රජතුමා සතුවූ ධාන්‍යාගාරයේය. එහි සිට රජතුමා අල්ලා ගැනීමේ මෙහෙයුම් සංවිධානය කළේ යුහුසුලුවමය.

ඉංග්‍රීසීන්ගේ සේනාංකයකින් වෙන්ව එක්නැළිගොඩ මොහොට්ටාල ඇතුළු පිරිසක් බෝමුරේ දෙසට ඇදෙමින් සිටියේ සවස 4.00ට පමණය. ඒ ලැබුණු ආරංචියක් අනුවය. ලැබුණු ආරංචියේ තොරතුරු නිවරැදි වී තිබිණ. ආරංචියෙන් කියැවුණු නිවෙස ඉදිරිපිට එක්නැළිගොඩ මොහොට්ටාල දන්නා හඳුනන සැතපෙන ගෙයි අප්පුහාමි කෙනෙක් හෙල්ලක් අතැතිව සිටියේය. ඇතිවූ කථා බහත් සමඟම සැතපෙනගෙයි අප්පුහාමි හෙල්ලෙන් එක්නැළිගොඩට දමා ගැසීය. එම පහර එක්නැළිගොඩට නොවැදුණේ එක්නැළිගොඩට ඉංග්‍රීසීන්ට සේවය කරන්නට තරම් විශාල වාසනාවක් තිබූ නිසා විය යුතුය.
එක්නැළිගොඩගේ පිරිසෙන් කිහිප දෙනෙකු අප්පුහාමිට හොඳ හැටි ගුටි ඇණ තලා පෙළා දැමූයේ කිසිදු අනුකම්පාවකින් තොරවය. ඇතැම්විට අප්පුහාමි මරා දැමුවාද විය හැකිය.

දොර අරින ලෙස ඉල්ලා සිටියත් නිවස තුළ සිටි පිරිස දොර ඇරියේ නැත. එක්නැළිගොඩගේ අණින් කීප දෙනෙක් වංගෙඩියක් ගෙන දොරට ගැසූවිට දොර කැඩී ඇරී ගියේය. නිවස තුළට වැදුණු පිරිස රජතුමාටත් බිසවුන් දෙදෙනාටත් නොයෙක් හිංසා පීඩාදිය කරන්නට වූහ. ඉංග්‍රීසීන්ගේ භාෂා පරිවර්තකයෙක් වූ ඩයස් බණ්ඩාරනායක මුදලිවරයා හිංසා කරන අයුරු දැක කම්පාවට පත් වූයේය. හැකි අයුරින් හිංසා පීඩා කරන්නන්ගෙන් රජතුමා හා බිසවුන් වහන්සේලා ආරක්ෂා කර ගන්නට උත්සාහ දැරීය. එක්නැළිගොඩ ඇතුළු පිරිස රජතුමාට කරන හිංසා පීඩා වළක්වාගැනීමට ඔහුට නොහැකි විය.

රජතුමා හා බිසවුන් වහන්සේලා අල්ලාගත් බවත් ඔවුනට එක්නැළිගොඩ හා පිරිස හිංසා පීඩා කරන බවත් ඒ නිසා වහා හේවා කණ්ඩායමක් එවන ලෙසත් දන්වමින් ඩයස් බණ්ඩාරනායක මුදලිවරයා ජෝන් ඩොයිලිට ලියුමක් ඇරියේය. එක්නැළිගොඩ අනෙක් අය සමඟ එක්ව රජතුමාගේ අත්, වැල්වලින් බැඳ වෙලේ පහළට කැටුව යන්නට විය. රජතුමා ඇවිදගෙන යන්නට බෑ කියූ විට බිම දිගේ ඇදගෙන ගියේය. එක්නැළිගොඩ හා පිරිස රජතුමා කෙරෙහි වූ වෛරය හා තරහ පිරිමසා ගත්තේ ඔහුට හිරිහැර කිරීමෙනි. ඇදගෙන ගිය රජතුමා වෙලේ පහළ කුඩා පිටියකට පෙරළා දැමීය. දෑත් බැඳ බිම දමා තිබෙන විට රජතුමාට මර බිය පවා දැනෙන්ට ඇතැයි සිතිය හැකිය. සිංහාසනාරූඪව සිටිය දී තමනට මෙවන් ඉරණමකට මුහුණ දෙන්නට සිදුවෙනු ඇති බව කිසිදා නොසිතන්නට ඇත.
හසුන් පත ලැබුණු විගසින්ම හේවා කණ්ඩායමක් පිටත්කර හැරීමට ඩොයිලි පියවර ගත්තේය. අසුන් පිට නැඟී පැමිණි එම හේවායෝ රජතුමා බිම පෙරළා දමා තිබුණු තැනට පැමිණ තම භාරයට ගන්නට පියවර ගත්හ. එක්නැළිගොඩ ඇතුළු පිරිසට බැණ වැදී ඔවුන් එතනින් මඳක් ඈත්කර තැබීමට ද පියවර ගත්හ. ඉංග්‍රීසීන් සමඟ පැමිණි අයෙක් රජතුමාගේ බැඳ තිබූ දෑත්වල බැමි ලිහා දැමීය.

රජතුමා හා බිසවුන් වහන්සේලා දෙන්නා එතැන් සිට රැගෙන ගියේ දෝලාවකිනි. රජතුමෙක් ලෙස දෝලාවක නැඟගෙන බෝමුරේට පැමිණි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට හිටපු රජෙක් ලෙසින් සිරකරුවකු වශයෙන් දෝලාවක නැඟී බෝමුරෙන් පිටත් වන්නට සිදුවිය.

සිරභාරයට පත් ඔවුන් රැගෙන ගියේ ඩොයිලි නැවතී සිටි තෙල්දෙණියේ ධාන්‍යාගාරයටය. සිරකරුවකු ලෙස රජතුමා පළමු රැය ගෙවා දැම්මේ තමාටම අයිතිව තිබූ තෙල්දෙණියේ ධාන්‍යාගාරයේය.

රජතුමා අල්ලාගෙන මෙම පෙරබරවාරි 18 වැනිදාට වසර 202ක් සපිරේ. රජතුමා අල්ලාගත් ස්ථානයේත් ඔහු රැගෙන ගිය මාර්ගයේත් ඔහු සිරභාරයේ රඳවා තැබූ තෙල්දෙණියේත් අද තත්ත්වය කෙබඳු වන්නේද?

මහනුවර සිට මහියංගණය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 31ක දුරක් ගමන් කළ විට මොරගහමුල පෙදෙස හමුවෙයි. මොරගහමුල සිට නිතුල්ගහරාව හරහා ගමන් කළ විට බෝමුරේ බෝධිඅංගනාරාම විහාරස්ථානය හමුවෙයි. එතැන් සිට වෙල්යායෙන් ඉහළට ගමන් කළ විට බෝමුරේ උඩුපිටිය දැක ගන්නට ලැබෙයි.

රජතුමා අල්ලා ගැනීමෙන් පසු බෝමුරේ උඩුපිටිය පෙදෙසේ පිහිටා තිබූ ආරච්චිගේ නිවෙස ගිනි තබා විනාශ කළ බව ජනප්‍රවාදයක සඳහන් වෙයි. තවත් ජනප්‍රවාදයකින් කියැවෙන්නේ පාළුවට ගිය නිවෙස කාලයාගේ ඇවෑමෙන් විනාශවී ගිය බවකි. 1900 පමණ වන විට නිවෙස තිබූ ස්ථානයේ සියඹලා ගස් කිහිපයක් ඇර වෙනත් දෙයක් තිබී නැත. 1906 සිට 1910 දක්වා මහනුවර මහ දිසාපති ලෙස ක්‍රියා කර ඇත්තේ ජෝන් පෙන්රි ලුවීය. ඔහු 1908දී උඩුපිටියේ ආරච්චිගේ නිවෙස තිබූ ස්ථානයේ ශිලාමය ස්ථම්භයක් පිහිටුවීමට පියවර ගත්තේය. එම ශිලා ස්ථම්භය මේ මොහොතේද දක්නට ලැබෙයි.

අල්ලාගත් දිනය ශිලාමය ස්ථම්භයේ සඳහන්ව ඇති අයුරු

දෑත් බැඳ රජතුමා පහළට කැටුව හා ඇදගෙන විත් ඇත්තේ බෝමුරේ වෙල්යායක් මැදිනි. එම වෙල්යායේ අද දිනයේ ද වී වගාව දක්නට ලැබෙයි. රජතුමා පහළට රැගෙනවිත් බිම පෙරළා දමා තිබී ඇත්තේ වෙල්යායේ පහළ කොටසේ විය යුතුය. භූමියේ පිහිටීම අනුවත් වෙලේ පහළ පෙදෙසේ සිට මොරගහමුල පෙදෙස දෙසට වැටී තිබෙන මාර්ග අනුවත් සිතිය හැක්කේ රජතුමා වෙලේ පහළ පෙදෙසේ පෙරළා දමා සිටි බවය.

බෝමුරේ වෙලේ පහළ ස්ථානයේ සිට තෙල්දෙණිය දක්වා රජතුමා දෝලාවෙන් රැගෙන ගිය මාර්ගය පිළිබඳ මේ මොහොත වනතෙක් කිසිවෙක් නිශ්චිත තොරතුරක් එළිකර නැත. එහෙත් ඩොයිලිගේ දිනපොතේ සටහනකින් රජතුමා රැගෙන ගිය මාර්ගය පිළිබඳ වැදගත් තොරතුරක් එළිකර ගත හැකි විය. 1816 සිට 1820 තෙක් තොරතුරු ඇතුළත් ලේඛන කීපයකින්ද පැරණි මාර්ගයේ තොරතුරු එළි කර ගත හැකි විය.
නිතුල්ගහරාව, මොරගහමුල හරහා ගමන් කළ විට ගල්මල්ඔය හමුවී ඇත. ගල්මල්ඔයෙන් එතෙරවී අඩි පාරක් ඔස්සේ වෑගල ගම හරහා රඹුක්වැල්ලට පැමිණ ඇත. රඹුක්වැල්ල විහාරස්ථානය අසලින් පහළට දිවෙන අඩි පාරකින් හුළුගඟේ ඉවුරක පිහිටි තොටට පැමිණ, වැල්ලේතොටින් හුළු ගඟින් එතෙරවී තෙල්දෙණියේ ධාන්‍යාගාරයට පැමිණ ඇත.

ජෝන් ඩොයිලිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් බිසවුන් වහන්සේලා දෙදෙනාත් ප්‍රථම වතාවට හමුවී ඇත්තේ රඹුක්වැල්ල විහාරස්ථානය අසලදීය. එම විහාරස්ථානය එකළ ද තිබී ඇත.

ධාන්‍යාගාරය පිහිටා තිබූ තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයෙන් යටවී ඇති අයුරු. ජල මට්ටම අඩු හෙයින් තෙල්දෙණියේ කොටසක් මතුවී ඇත.

තෙල්දෙණියේ රජතුමා රඳවා තිබූ ධාන්‍යාගාරය තිබූ පෙදෙස වික්ටෝරියා ජලාශයේ ජලයෙන් වැසී ගියේ 1985 දීය. එහෙත් වත්මනෙහි වික්ටෝරියා ජලාශයේ ජලය අඩුවී ගොස් තිබෙන බැවින් තෙල්දෙණියේ කොටසක් මතුවී තිබෙන අයුරු දක්නට ලැබෙයි. එදා බෝමුරේ සිට වෑගල, රඹුක්වැල්ල ගම් හරහා තෙල්දෙණියට රජතුමා රැගෙන ගිය මාර්ගය දුර ප්‍රමාණය කිලෝ මීටර් 10ක් පමණ වෙයි.

උපුටාගැනීම : ලංකාදීප පුවත්පත.

පේරාදෙණියේ අමානුෂික නවක වදය ගැන ඔබ හිතන්නෙවත් නැති රහස් වෛද්‍යවරු සිව් දෙනෙක් හෙළිකරයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කෘෂිවිද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයෙන් බැහැර කුලී පදනම මත ලබාගත් නිවෙසක රඳවා නිරුවත් ‍කොට අමානුෂික අයුරින් නවක වදයට ලක් කළ එම පීඨයේ සිසුන් පහලොස් දෙනෙකු මේවනවිට රක්ෂිත බන්ධනාගාර කොට ඇත.

සැබැවින්ම මෙම සිසුන් මෙවැනි ක්‍රියාවලට යොමුවී ඇත්තේ ඔවුන් මානසික රෝගීන් නිසාද? මේ ඒ සම්බන්ධයෙන් විශේෂඥ ‍මනෝ වෛද්‍යවරුන් සිව් දෙනෙකු වෙතින් ලක්බිම ඔන්ලයින් කළ කරුණු විමසා බැලීමකි.

විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන;

විශ්ව විද්‍යාලවල සිදුවන නවකවදය ආරම්භ වුණේ සමාජයේ විවිධ සමාජ ආර්ථික සංස්කෘතික පසුතලයන් තුළින් විශ්ව විද්‍යාලවලට පැමිණෙන නවක සිසුන් එක උප සංස්කෘතික මට්ටමකට ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ සිසුන් භාවිතා කරපු නොවිදිමත් මනෝ විද්‍යාත්මක උපක්‍රමයක් විදිහට. එහි දී නවක සිසුවකු මේසයක් පුටුවක් මතට නංවා ඒ සිසුවා ජනාධිපති වුවහොත් ජාතිය අමතන ආකාරය නිරූපණය කරන්නැයි වැනි නියමයන් ජ්‍යෙෂ්ඨ සිසුන් වෙතින් නවකයන් වෙත බලහත්කාරී ලෙසින් පැනවූවා. මේක එක්තරා මානසික අභ්‍යාසයක් ලෙසත් හඳුන්වන්නට පුලුවන්.

නමුත් අද නවක වදය ලෙසින් සිදුවන්නේ ‍ඊට ඉඳුරාම පටහැනි සාපරාධී ගණයේ වෙනත් ක්‍රියාවන්. මේවා බොහොමයක් ජ්‍යෙෂ්ඨ සිසුන් තම යටපත් වූ ප්‍රචණ්ඩත්වය සහ ලිංගිකත්වය පිළිබඳ ආවේග නවක සිසුන් වෙතින් මුදාහැරීමක් විදිහට හඳුන්වන්න පුලුවන්. වර්තමානයේ නවක වදය ලෙසින් වාර්තාවන ඇතැම් සිදුවීම් තුළ පරිපීඩක කාමුකත්වය (Sadism) පවා ගැබ් ව ඇති බව ඒ සිදුවීම් පිළිබඳව විමසීමේදී පෙනී යනවා.

දරුවකුගේ කායික වගේම මානසික සංවර්ධනයත් නිසි ලෙස සිදුවිය යුතුයි; ළමා වියෙහි සිට යෞවනයට පත් වෙන කොට දරුවාගේ කායික සංවර්ධනය බාහිරට ප්‍රදර්ශනය වෙනවා; නමුත් මානසික සංවර්ධනයේ අඩුලුහුඬු කම් ඒ වගේ සෑම විටම ප්‍රදර්ශනය වන්නේ නැහැ. ඒවා ඉස්මතුවන්නේ මෙවැනි සිදුවීම් හරහා; ඒ වගේම නවක වදයේ නාමයෙන් සිදු කෙරෙන මේවැනි ම්ලේච්ඡ ක්‍රියාවන්ට සමස්ත සරසවි ශිෂ්‍ය සංහතියම සම්බන්ධ නැහැ. මේ තත්ත්වයට පත්ව සිටින්නේ එම ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙනුත් සුළුතරයක් පමණයි. තවත් බොහෝ පිරිසක් මෙම ක්‍රියා අනුමත කරන්නේ නැහැ. ඒ අනුව මේවා හුදෙක් මානසික රෝග නොවුණත් මානසික සෞඛ්‍යයේ බිඳවැටීම් ලෙස පැහැදිලි ලෙසම හඳුනාගන්න පුලුවන්.

විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය;

කිසියම් පිරිසකට වැඩි බලයක් ලැබුණාම එය මුල් කොට තමන්ට වඩා අඩු බලයක් ඇත්තවුන් පීඩාවට පත් කිරීමේ පොදු මානුෂික ලක්ෂණයක් තිබෙනවා. නමුත් සමාජ ආර්ථික සංස්කෘතික පදනම් අනුව මේ නියාමයේ තුලාත්මක බවක් දකින්න පුලුවන්.

මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ස්ටැන්ෆර්ඩ් සර්සවියේ මනෝ විද්‍යා මහාචාර්ය පිලිප්. ජී සිම්බාඩෝ 1971 වසරේ කදිම පරීක්ෂණයක් කළා. ඒ ස්වේඡ්චාවෙන් තෝරා ගත් සාමාන්‍ය වැසියන් දෙපිරිසක් ඉතා අහඹු අයුරින් සිරකරුවන් සහ බන්ධනාගාර නියාමක වරුන් ලෙස බෙදා වෙන් කිරීමෙන්. බන්ධනාගාර නියාමකවරුවන් ලෙස තෝරාගත් පිරිසට සිරකරුවන් ලෙස ‍තෝරා ගත් පිරිසට වඩා වැඩි බලයක් ඇති බව මානසිකව තහවුරු කළා; ඊට පසුව නාමිකව තමන්ට ලැබුණු ඒ බලය මානසික වශයෙන් දැඩිව ආරෝපණය කර ගත් ඒ කණ්ඩායම සිරකරුවන් වශයෙන් පෙනී සිටි පිරිසට දරුණු තාඩන පීඩන වදහිංසා කිරීමට පටන් ගත්තා. අවසානයේ මෙය ඉතා අයහපත් තත්වයක් බව මහාචාර්ය සිම්බාඩෝ ගේ ශිෂ්‍යයන් ඔහුට පෙන්වා දුන් පසුවයි ඒ පරීක්ෂණය හමාර කළේ.

ඒ කෙසේ වෙතත් ‘බලය’ කියන දේ භුක්ති විඳීම පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි; ප්‍රබල පෞරුෂයක් සහිත කිසිවකුත් තමන් සතු බලය අන්‍යයන් පෙළන අවියක් බවට පත් කර ගන්නේ නැහැ. එසේ කරන්නේ ළමා වියේ සිට නිසි ලෙස මානසික සංවර්ධනයක් නොලැබූ පෞරුෂ විෂමතාවයන් ගෙන් පෙළෙන අය විතරයි.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ;

ජීවිතයේ යොවුන් වයස කියන්නේ හැඟීම් ආවේග තීව්‍රර වෙන කාලයක්. මේ අයගේ මොළයේ ජෛව රසායනිකයන් බෙහෙවින් සක්‍රීයවීම මේ කාලයේ ශීඝ්‍රාකාරයෙන් සිදු වෙනවා; නමුත් සංස්කෘතිය සදාචාරය ආදී කරුණු සඳහා පෙනී සිටින මොළ කොටස හෙවත් මොළයේ ඉදිරිපස ඇති ලලාට පිණ්ඩිකය (Frontal lobe) ඉන්ද්‍රියක් හැටියට වර්ධනය වන්නේ කෙනෙකුගේ අවුරුදු විසි ගණන්වල අවසාන භාගයේ දී. ඊට පෙර බොහෝ තරුණ තරුණියන් ජීවිතයේ විවිධ කරුණු සම්බන්ධයෙන් හිතුවක්කාර තීරණ ගන්නේ ඒ නිසයි; මේක හරියට ප්‍රබල එන්ජින් ධාරිතාවයක් ඇති වාහනයක තිරිංග හරියට සවිකොට නොමැත්තාක් බදු තත්වයක්.

මෙහි දී මේ සම්බන්ධ තවත් වැදගත් කරුණක් බලපානවා. අපේ සමාජයේ සංස්කෘතියේ තියනවා; ‘හොඳ ළමයා’ කියලා භූමිකාවක්; කාටද මේ හොඳ ළමයා කියන්නේ; අර තරුණ වයසේ දී ඇතිවන ජෛවමය ආවේගයන් සියයට සීයක්ම සඟවා ගෙන කටයුතු කරන අයට; කොටින්ම යෞවනයට ආවේණික විසේ – දඟකාර බව යටපත් කර ගෙන ඉන්න අයට; නමුත් ජෛව විද්‍යාත්මකව ඒක එච්චර හොඳ තත්වයක් නෙමෙයි; මේ විදිහට ආයාසයෙන් යටපත් කර ගෙන; අවරෝධනය කරගෙන (repress) ඇති හැඟීම් ආවේග ඒ සඳහා අවස්ථාවක් එළැඹුණු හැටියේ අමුණු, වේලි කඩාගෙන එන ගංවතුරක් වගේ එළි දකින්න පුලුවන්. නමුත් යෞවන කාලය තුළ විසේකාර බව දඟකාර බව තරමක් හෝ නිදහසේ භුක්ති විඳින අය මේ වගේ ප්‍රචණ්ඩකාරී දේවල් වලට යොමු නොවන බව පර්යේෂණාත්මකව පවා ඔප්පු වෙලා තියනවා.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්;

නවක වධයේ නාමයෙන් මේ වගේ ම්ලේච්ඡ ක්‍රියාවලට පෙළඹෙන්නේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සුලුතරයක් පමණයි; ඒ අතරිනුත් සමාජ විරෝධී පෞරුෂ ආබාධය ( Antisocial Personality disorder) වගේ මානසික අර්බුදයකින් පෙළෙන ශිෂ්‍යයකු ප්‍රධානත්වයේ සිටිය හැකියි. එවිට ඒ ශිෂ්‍යයාට වඩා අඩු පෞරුෂයකින් යුතු සහ එවැනි මානසික අවශ්‍යතා සහිත තවත් ශිෂ්‍යයන් ඒකරාශී වී මේවාට අනුබලදෙන්න පුලුවන්; විශේෂයෙන් මුලු ළමා කාලයම පොත පතේ අධ්‍යාපනය සඳහා කැප කරපු සමාජ අවබෝධය සහ සමාජ කුශලතා අවම ‘අහිංසක’ චරිතත් මුලින් කී ශිෂ්‍යයාට වීරත්වයක් සහ නායකත්වයක් ප්‍රදානය කොට ඔහුගේ කටයුතුවලට සහාය දක්වන්න පුලුවන්.

නමුත් විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුළින් පැන නඟින ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් ගේ ක්‍රියාකාරකම් සහිත මෙවැනි කුඩා කණ්ඩායම් වලින් නවකයන් වෙත එල්ලවන ලිංගිකත්ව සහ ප්‍රචණ්ඩත්ව බලපෑම් අවම කොට විශ්ව විද්‍යාලයට පැමිණෙන නවකයන් පිළිගැනීම සඳහා මානුෂීය ධර්ම මුල් කොට ගත් කායික සහ මානසික හිංසනයට අයත් නොවන නව චර්යා සම්ප්‍රදායක් හඳුනා ගැනීම නූතන සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය පරපුර වෙත පැවරී ඇති ප්‍රධානතම වගකීමක් හා යුතුකමක් බවයි කිය යුත්තේ.

ඒ වගේම නවීන ලෝකයේ උසස් අධ්‍යාපන ආයතන තුළ මෙම නවකවද සංකල්පය කෙසේවත් දක්නට නොලැබෙන බවට කිව යුතුමයි.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත.