දැවැන්ත නැව් වල “සීමන්” කෙනෙක් හැටියට සුර සැප විඳ, කුලී වැඩ කරන තත්වයට වැටුණු ලංකාවේ මිනිසෙකුගේ කතාව.

ඔහු නමින් රවුෆ් ෂාරුක්. වසර 20ක් පමණ සීමන් කෙනෙකු හැටියටයි රැකියාව කරලා තිබෙන්නේ.

කොහොමද ෂාරුක් නැව් වල රැකියාව?
අ​ෙන් මහත්තයෝ ඒ දවස්වල සීමන් ජොබ් එක කියන්නේ බොහොම වැදගත් රැකියාවක්. අද වගේ නොවෙයි. ඒ දවස්වල නැවකට නගින්න හරි අමාරුයි. මම ඉස්සෙල්ලාම නැවකට නැග්ගේ 1978 වසරේයි. ඒ දවස්වල සීමන් කෙනෙක්ගේ පඩිය රුපියල් 78000ක් වගේ. හොඳට හම්බ කළා මම. ගොඩක් වැඩ කළේ ග්‍රීක් නැව්වල. මොකද ඒ නැව්වල වැඩකළාම පඩි හොඳයි. මම නැවකට නගින්නේ බොම්බායේ වරායෙන්. කවුරු හරි අඳුනන සීමන් කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි නැවකට නගින්නේ. නැව හාබර් එකෙන් පිටත් වුණාම මුහුද මැදදී තමයි එළියට එන්නේ. එතකම් අර යාලුවාගේ කාමරේ හැංගිලා ඉන්නවා. පස්සේ තමයි කැප්ටන් දකින්නේ. ඉතින් නැවේ රස්සාවක් දෙනවා. හොඳ පඩියකුත් එක්ක. මොකද නැවක නැග්ගාහම අාපසු බහින්න වෙන්නේ මාස ගණනකට පස්සේ. එතකම් මහ මුහුදේ තමයි ඉන්නේ. හොඳ කැප්ටන් කෙනෙක් හමු වුණොත් හොඳයි. සමහර කැප්ටන්ලා හරි නැහැ. එහෙමත් කෙනෙක් තමයි හිත හොඳ කෙනෙක් හම්බවෙන්නේ.
කොහොමද ඉතින් මුහුදු ජීවිතේ අත්දැකීම්?
කියලා වැඩක් නැහැ මහත්තයෝ. මුහුදේම තමයි ජීවිතය. එක්කෝ බොම්බායෙන් පිටත් වුණාම ඊළඟ රටකට යන්න මාස 9ක් හෝ 10ක් ගතවෙනවා. ගොඩබිමක් දකින කොට හරි ආසයි. මම රටවල් 30ක 40ක වගේ සංචාරය කරලා තිබෙනවා. ගොඩක් වැඩ කළේ භාණ්ඩ නෞකාවල. නැව හාබර් එකට ගහලා බඩු පටවනකම් අපිට නිවාඩු. ඒ වෙලාවට තමයි පොඩි රවුමක් ගහලා පොඩි විනෝදයක් ලබා ගන්නේ.
මොනවද ඉතින් විනෝද වෙන්නේ. කොයි වගේ දේවල් වලින්ද?
මෙහෙමනේ, මහත්තයෝ නැවට බඩු පටවන්න දවස් 3ක් විතර ගතවෙනවා. අපි ඉතින් කිහිප දෙනෙක් එක්ක පොඩි අඩියක් ගහලා පොඩි ආතල් එකක් ගන්නවා. මහත්තයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අපි මාස ගණනක් නැවේ ඉඳලා ගොඩබිමට ආවාම ඒ ආතල් එක නැතුව බැහැ. ඒවට තැන් තිබෙනවා. හැබැයි ගොඩක් රටවල නීති තදයිනේ. ඉතින් ඒවායින් බේරිලා අපේ අවශ්‍යතාව කර ගන්නවා. අනික මහත්තයෝ අතේ සල්ලිත් තියෙනවා​නේ.
ඉතින් ඉතිරි කරගත් දෙයක් නැද්ද?
මොනවා ඉතිරි කරන්නද. අපි ඉතින් හොඳට කාලා බීලා විනෝද වෙනවා. දන්නවානේ සීමන්ලගේ ජීවිතය. ගෙදරක් ගැන හිතන්න කාලයක් නැහැ. මුහුදේම තමයි ජීවිතය. අපිට ඉතින් ඉතිරි කරන්න බැහැ. ගොඩක් සීමන්ලා එහෙමයි. අද කනවා බොනවා, හෙට ගැන හිතන්නේ නැහැ. දැන් තමයි ඉතිරි නොකර හිටිය එකේ තරම තේරෙන්නේ. මම දැන් නන්නන්තාර වෙලා.
එහෙම වෙන්න හේතුව මොකද්ද මම රවුෆ් ගෙන් හරස් ප්‍රශ්නයක් ඇසුවෙමි.
මෙහෙමනේ මහත්තයෝ. මම දැන් සීමන් රස්සාවෙන් අයින් වෙලා අවුරුදු 15ක් පමණ වෙනවා. මම ඉතා නරක සබ්ජෙට් එකකට පුරුදු වුණානේ. ඒක තමයි මට නන්නත්තාර වෙන්න හේතුව.
මොකක්ද නරක සබ්ජෙට් එක?
මේකනේ නරක ආශ්‍රය තමයි. මම සීමන් ජොබ් එකෙන් අස්වෙලා ඉන්න කොට නොයෙක් නොයෙක් යාළුවෝ හම්බ වුණා. ගොඩක් අය කුඩු කාරයෝ. මමත් කුඩේ කුඩු වුණේ උන් නිසා. දන්නවනේ මහත්තයෝ කුඩු ගහන අය හම්බ වුණාම අතේ සතේ නැතිවෙනකම් සුද්ධ වෙනවා. අර හම්බ කළ සේසතම ඒකට තමයි වියදම් කළේ. අනික අපි පුරුදු වුණේ සීමන් ජොබ් එකනේ. වෙන රස්සාවල් කරන්න දන්නේ නැහැ. දැන් මට අවුරුදු 68ක් විතර වෙනවා. දැන් වෙන ජොබ් එකක් කරන්න බැහැ.
දැන් මොකද කරන්නේ?
දැන් ඉතින් පොඩි පොඩි කුලී වැඩක් කරලා ගතමනාවක් සොයා ගන්නවා එදිනෙදා ජීවත් වෙන්න. අනික සල්ලි අතගාලා පුරුදු අපිට සල්ලි නැති වුණාම පිස්සු වගේ. ඒ දවස්වල හොඳට කාලා බීලා හිටිය නිසා තවමත් ෆිට් මේ කුඩු ජීවිතයක් එක්ක ඔක්කොම නැති වුණා. දැන් මම ටික ටික අඩුකරලා තියෙන්නේ කුඩු උරන එක. ඒත් ඉඳලා හිටලා ගංජා මිටියක් නම් බොනවා.
කොහෙන්ද ගංජා ගන්නේ?
ඒක නම් කියන්න බැහැ. අපි දන්න කියන අයගෙන් තමයි අරගන්නේ. ඒක කිව්වොත් ප්‍රසිද්ධ වෙලා උන්ගේ රස්සාවටත් තට්ටු වෙනවානේ. දැන් ඒවත් ගන්න බැහැ. හැමැතැනම පොලිසියෙන් ඉන්නවනේ. ඉතින් ඒ ගොල්ලන්ගෙන් බේරිලා තමයි පැකට් එකක් හරි ගංජා මිටියක් හරි සොයා ගන්නේ. දැන් වැඩිපුරම තිබෙන්නේ “කේ.ජී.” නේ.
මොනවද “කේ.ජී” කියන්නේ?
“කේ.ජී.” කියන්නේ කේරළ ගංජාවලටනේ ගොඩක් එන්නේ කේරළයෙන්. ඒකයි කේරළ ගංජා කියන්නේ. ඒ නම කෙටි කරලා. ගොඩක් තිබෙන්නේ මාර්කට් එකේ කේරළ ගංජා තමයි.
කොහොමද කේ.ජී. හම්බවෙන්නේ?
මෙහෙමනේ මහත්තයෝ කොළඹ වරායට එනවනේ විදෙස් නැව්. ඉතින් ඒවායේ ඉන්න සීමන්ලා එක්ක අපි පොඩි චැට් එකක් දානවා. උන් ගාව බඩු තියෙනවා. ඉතින් අපිව විශ්වාස කරලා තමයි බඩු දෙන්නේ. උන් ෂේප් එකේ නැවේ ඉඳලා එළියට එනකොට බඩු ගේනවා. මොකද පිටරටවල සීමන්ලව වැඩිය චෙක් කරන්නේ නැහැනේ.
“කේ.ජී.” එකක් කීයක් විතර වෙනවාද?
මෙහෙමයි මහත්තයෝ රුපියල් 200 ඉඳලා තිබෙනවා. රුපියල් 100ටත් තිබෙනවා. ඒවායේ ඩස්ට් එක වැඩියි. දැන් තණමල්විලනේ මහත්තයේ ඕවාට ප්‍රසිද්ධ. එහෙ තිබෙන බඩු කොලිටිය අඩුයි. ඒවත් බජාර් එකේ තියෙනවානේ. හැබැයි දැන් එහෙන් එන ඒවා අඩුයි. ගොඩක් මාර්කට් එකේ තියෙන්නේ කේරළයන් එන ඒවානේ. අපි ඉතින් ලංකාවට අාව සීමන් කෙනෙක්ගෙන් ඔය බඩු අරගෙන සුළු ගානක් තියලා විකුණනවා. ලොකු ලාභයක් නැහැ. අනික පොලිසියෙන් බේරෙන්නත් එපැයි. අහු වුණත් ඉතින් ඇතුළෙම තමයි. ගංජා ළඟ තබාගෙන අහුවුණොත් පොඩි ෂේප් එකක් තිබෙනවා. කුඩු අහුවුණොත් ඉතින් ඉවරයි. ගොඩ ඒමක් නැහැ.
එහෙම අහුවෙලා තියෙනවාද?
දෙයියනේ කියලා මහත්තයෝ තවම නම් කුඩු තියාගෙන අහුවෙලා නැහැ. හැබැයි ගංජා තියාගෙන ඉඳලා නම් කිහිප සැරයක් අහුවෙලා තියෙනවා. දැන් අපිව දැක්ක ගමන් නෝට් වෙලා තියෙන්නේ. ඒක නිසා බොහොම ​ෙහාරෙන් තමයි වැඩේට බැහැලා ඉන්නේ.
ඉතින් මේ වැඩේ නතර කරන්න බැරිද?
මෙහෙමයිනේ මහත්තයෝ. අපේ වයසට දැන් රස්සාවක් හම්බවෙන්නේ නැහැනේ. එහෙම හම්බවෙනවා නම් මටත් ආසයි හොඳ ජීවිතයක් ගත කරන්න. මට ඉතින් බර වැඩ වගේ මහන්සි වෙලා රැකියාවක් කරන්නත් බැහැ. තව ටික කාලයක් ජීවත් වෙයි.
ෆාරුක් කසාද බැඳලා නැද්ද?
නැහැ. මම ඉතින් සීමන් ජොබ් එක කරපුවාම ඕවා ගැන හිතන්න වෙලාවක් නැහැ. නැවටම තමයි මගේ ජීවිතේ කැපවෙලා තිබුණේ. කසාදයක් ගැන හිතුවේ නැහැ. සෙල්ලක්කාර ජීවිතයක් තමයි ගත කළේ. මට දැන් හරියට ඉන්න හිටින්න තැනක් නැහැ. මගේ මාමා වෙන කෙනෙක්ගේ ගෙදර තමයි ඉන්නේ. ඉතින් මේ හම්බවෙන මුදලින් මාමාවත් බලාගෙන ඉන්නවා. අපි සීමන් ජොබ් එක කළාම පැන්ෂන් එකක් කියලා දෙයක් නැහැනේ. එදා හම්බ කළා. එදා කෑවා, බිව්වා. හම්බ කළ දේවල් ඉතුරු කළේ නැහැනේ. ඔහොම තමයි ජීවිතේ ගත කළේ. අනික මහත්තයෝ අද එක රටක හිටියොත් තවත් මාස ගණනකින් තවත් රටක. හැබැයි හොඳට රටවල් එහෙම දැක බලා ගත්තා. ඉතින් ඒ දේවල් තමයි ඉතුරු කළේ.
නැවේදි වෙච්ච අත්දැකීම් කොහොමද?
හොඳ හොද අත්දැකීම් නම් ලැබුවා. හොඳට විනෝද වුණා. එක දවසක් නම් මුහුදේ යන්නම බැහැ. මුහුද රළුයි. එදා නම් අපි කෲ එක ටිකක් බය වුණා. මුහුදු ජීවිතේට මුලින්ම ආවාම නැවේදි හැදෙනවා “හෝම් සික්” එකක් කියලා. එදාට ගෙදර එන්නම තමයි හිත. කොහොම හරි ඉවසගෙන ඉන්නවා. එක වෙලාවකට පිස්සු වගේ තමයි.
ඉතින් ෆාරුක් මම ගිහින් එන්නම්. කොහොම හරි හෙඳ ජීවිතයක් ගත කරන්න බලන්න.
“ඔව් මහත්තයෝ. අනේ මේවා පත්තරේ දාලා මගේ ජොබ් එකට නම් පහර ගහන්න එපා”
අපේ නැහැ ෆාරුක්. එහෙම කරන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා.
“එහෙනම් මම යනවා. අපි කවදා හරි තවත් දවසක මුනගැහෙමු.”
ෆාරුක්ගෙන් සමු අරගෙන මම කොටුවේ හාබර් එක ගාවින් යෝක් වීදිය ඔස්සේ පියමං කළේ අරමුණකින් නොවෙයි. කොහොම වුණත් තවත් දවසක මේ වගේ තොරතුරක් එක්ක හමුවෙමු.
සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර
උපුටා ගැනීම : ඉරිදා ලංකාදීප.

ශ්‍රී ලංකාවේ හොඳම සමාධි පිළිමය ඇත්තේ අනුරාධපුරයේ නොවේ මෙතෙක් කල් සැඟවුණු රහසක් හෙළිවේ.

ඒ 1980 දශකයේ මැද භාගයේ දිනයකි සුප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ප්‍රතිමා කලා විචාරකයෙකු වන ස්විස්ටර්ලන්ත ජාතික උල්රිච් වොන් ශෝදර් (Ulrich Von Schroeder) ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රතිමා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.එහිදී ජාතික කෞතුකාගාරයට පිවිසි මෙම ප්‍රතිමා කලා විචාරක වරයා එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂකව සිටි ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මුණ ගැසිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෞතුක විද්‍යාඥයකු සහ ප්‍රතිමා කලා විශාරදයකු වන ආචාර්ය ලක්දුසිංහයන් ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිමා පිළිබඳ බෙහෝ තොරතුරු අසා දැන ගත් මේ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා ලක්දුසිංහයන් සමගින් ගොස් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අනේක විධ ප්‍රතිමා සහ ඒවායේ ලක්ෂණ නිරීක්ෂණය කළේය.

අවසානයේ කෞතුකාගාර ආලින්දයට පැමිණි මෙම විදේශිය විද්වතා එහි තැන්පත් කොට ඇති සමාධි පිළිමය විවිධ කෝණ මගින් නිරීක්ෂණය කරන්නට විය. බෙහෝ වේලාවක් සිදු කරන ඔහු ගේ මෙම නිරීක්ෂණය දුටු ආචාර්ය ලක්දුසිංහ සෙමෙන් එම කලා විචාරකයා වෙත ළං විය.
‘මොනවද ඔය ප්‍රතිමාවේ ඔච්චරම බලන්න තියෙන්නේ..’ ආචාර්ය ලක්දුසිංහ සරදමට මෙන් ඇසීය.

‘මේ ප්‍රතිමාවේ මූණේ පෞරුෂයයි, ශාන්ත බවයි මේ විදියට සංකලණය කළේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ඒත් දැන් මම දැන් පුදුම වෙන්නෙ ඒ කාරණය ගැන නෙවෙයි’. කලා විචාරකයා කීය.

‘එහෙනම්…?’ ආචාර්ය ලක්දුසිංහ ඇසීය.

‘බලන්න මේ පිළිමේ අත්දෙක දිහා. මේ අත් දෙක උකුළට තද කරගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. එත් ඒ වගේම උකුළට උඩින් අත්දෙක එල්ලා ගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. පුදුමෙට කාරණේ ඒකම නෙවෙයි.’

එසේ කියූ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා අචාර්ය ලක්දුසිංහ වෙත තවත් සමීප විය.

‘මොනව වුණත් මේක හදලා තියෙන්නේ කළුගලින් නේද?’

මා දැන් කීමට සැරසෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව පිළිබඳ පූර්විකාව එසේය.

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම පිහිටා ඇත්තේ මහමෙවුනාවට අයත් මහා විහාර සංකීර්ණයේ වත්නොවේ. ඉන් ඉඳුරාම බැහැර පිහිටි අභයගිරි ආරාම සංකීර්ණයට අයත් භූමි භාගයකය. එමෙන්ම අනුරාධපුර පූජා නගරය තුළ අද දක්නට ඇති සමාධි පිළිම වහන්සේට අමතරව නිර්මාණාත්මක ලක්ෂණ අතින් ඊට කෙසේවත් නොදෙවෙනි තවත් සමාධි පිළිම වහන්සේ නමක් විසිවන සියවසේ මුල් අර්ධය තෙක්ම අනුරාධපුරයේ වැඩ සිට ඇත.
එහෙත් ඉන්පසු කුමක් හෝ හේතුවක් මත එම ප්‍රතිමා වහන්සේ එතැනින් ඉවත් කොට තිබේ. ඒ 1911වසරේ දී යැයි කියණු ලැබේ. ඉන් පසු එය කොළඹ කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කරන ලද බවක් පැවසේ. මෙහි මුලින් පැවසුණු පරිදි විදේශිය ප්‍රතිමා කලා විචාරකයෙකු විස්මයට පත් කළ ඒ සමාධි ප්‍රතිමාව මේ මෙහොතේදීත් කොළඹ ජාතික කෞතුකාගාරයේ පිවිසුම් ද්වාරය අබියස දී ඔබට දැක ගත හැක. ඒ හුදෙක් කෞතුක වස්තුවක් ලෙසිනි. එසේ විතැන් කිරීමෙන් එම ප්‍රතිමාවහන්සේට සේම සියවස් ගණනාවක් තිස්සේ එය ස්ථාපිතව තිබූ තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයටද සුවිසල් අගතියක් සිදු වී ඇත.

ඇතැම් කලා විචාරකයන් පවසන අන්දමට මෙම සමාධි ප්‍රතිමාව අභයගිරි සමාධි ප්‍රතිමාවටත් වඩා ආධ්‍යාත්මික ලක්ෂණවලින් පිරිපුන්ය. මෙම මතය දරන්නවුන් අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ, සහ කැලණිය විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ඇතුළු තවත් විද්වත් පිරිසක් වෙති.

ජය ශ්‍රී මහා බෝධි වන්දනාවෙන් අනතුරුව මිහින්තලා පුදබිම වෙත යන ඔබට එම යන මාර්ගය අතරතුර ප්‍රධාන මාර්ගය ආසන්නයේම දකුණු දෙසින් අතීතයේ මෙම සමාධි ප්‍රතිමාව තිබූ තොළුවිල පුරාවිද්‍යා ස්ථානය දැක ගත හැක.

තොළුවිල ආරාම සංකීර්ණයේ මාලක දෙකකින් යුක්ත විශාල ප්‍රතිමාඝරයක් දකුණු දිශානුගතව පිහිටා ඇත. කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කොට ඇති සුප්‍රකට තොළුවිල සමාධි පිළිමය තැන්පත් කොට තිබුණේ මෙම ප්‍රතිමා ගෘහයේය.
යටත් විජිත පාලකයන්ගේ තීන්දු තීරණ හමුවේ මුල් පිහිටි ස්ථානය අහිමි වූ යැයි මෙම සමාධි පිළිමයට හිමි විය යුතු නිසි ගෞරවය අද වන විට අහිමි වී ඇතැයි මට සිතේ. අඩි 05 අඟල් 09ක් උස්වූ මෙම පිළිමයෙහි බාහු ශීර්ෂ අතර පරතරය අඩි 03 අඟල් 05කි. වීරාසන මුද්‍රාවෙන් යුතු ප්‍රතිමාවෙන් මූර්තිමත් වන ශාන්ත ස්වභාවය හා මුහුණෙහි සහ අඟපසඟවල දක්නට ඇති සප්‍රාණික ස්වාභාවයද නිසා මෙම ප්‍රතිමාවේ ශ්‍රේෂ්ඨත්වය හා කලාත්මක වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බව විද්වත් මතයයි. මේ අතරින් මාහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයෝ ශ්‍රී ලංකාවේන් මෙතෙක් ලැබී ඇති විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව ලෙස නිර්භයව මෙය හඳුන්වා දෙති. මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් සුවිශේෂී අගැයුමක් කරන මේ රටේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් සූරීන් පවසා ඇත්තේ අප රටින් ලැබුණු අලාභහානි කිසිවක් සිදු නොවූ පිරිපුන් සමාධි පිළිමයද මෙයම බවය.

කෙසේ හෝ ලෝකප්‍රකට ඉතිහාසඥයෙකුද වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් ඇතුළු පෙර අපර දෙදිග විද්වතුන් රැසකගේ අවධානයට ලක් වීම මත ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටතම සමාධි ප්‍රතිමාව අනුරාධපුරයේ පිහිටි සමාධි පිළිමය බවට පොදු පිළිගැනීමක් ඇත.

එහෙත් ප්‍රතිමා කලා විශේෂඥයන්ගේ නිදහස් අදහස් අනුව මෙම ප්‍රතිමා දෙක සංසන්දනය කළ විට ඉන් මුල් තැන අද වන විට අඩුම තරමින් මලකින් පහනකින් පිදුම් නොලබා කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ වැඩ හිදින මෙම තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේට හිමිවන බවද මගේද බලවත් විශ්වාසයයි.

තිලක් සේනාසිංහ
උපුටා ගැනීම:ලක්බිම.

එදා මරණ දණ්ඩනයට නියමවූ තරුණයෙක් මරන්න මොහොතකට පෙර හාමුදුරුවන්ට කියුදේ…- වීඩියෝ.

“අද මාව එල්ලලා මරනවා අපේ හාමුදුරුවනේ”
හිරගෙට වැඩි පන්සලේ හාමුදුරුවෝ ඉස්සරහා ඔහු වැඳ වැටෙනවා..
“මට මැරෙන්න බය නැහැ හාමුදුරුවනේ.. මම කරපු පව් මම විඳවන්න ඕනේ..මට තියෙන කාලේ හිටපු, මාව නොමගට යවපු එකෙක්වත් මට අද නැහැ.. මම කවදාවත් හැරිලා නොබලපු පන්සලේ හාමුදුරුවෝ, මගේ අන්තිම දවසේ මගේ හිත හදන්න හිර ගෙටම වැඩලා ..
ඔබ වහන්සේගෙන් එක ඉල්ලීමක් මම කරනවා..
මාව මැරුණට පස්සේ මගේ මළ කඳ අම්මට පෙන්නන්න එපා කියලා මම අවසන් ඉල්ලීමක් කල බව ඔවුන්ට කියන්න..

මුළු ලෝකෙටම මම අපරාධකරුවෙක් වුනත් මගේ අම්මට මම තාම එයාගේ පොඩි පුතා..මගේ මරණය එයාට දරා ගන්න බැරි වෙයි අපේ හාමුදුරුවනේ..”
ඔහුට කියන්න යන දේ..සම්පුර්ණ කරන්න ලැබෙන්නේ නැහැ..
පන්සලේ හාමුදුරුවන් හිරගෙයින් නික්මෙන විටම ඔහුගේ අම්මත් එනවා..
පෙර දින නැළවිලි ගී ගැයූ ඇය, හද පාරන වේදනාත්මක ස්වරයකින් සහ මාතෘත්වයේ අති උත්තම දාරක සෙනෙහසින් අවසන් වතාවට කියන දේ බලන්නකෝ…

1991දී ශ්‍රී ලංකාවේ කමාන්ඩෝ සෙබලෙක් මැරෙන්න මොහොතකට පෙර අම්මාට ලියු ලිපිය..

වසර 8 කට පෙර රටේ ඇතිව තිබූ දරුණු ත්‍රස්ථවාදය ගෙන එන්නේ අමිහිරි මතකයන්ය. යුද්දයේ භිතිය තවමත් මිනිසුන් තුළ රැදී ඇත. රටේ යුද්දය නිම කිරිමට දායක වූ වීර පුතුන් ලක්ෂ ගණනක් රටට අහිමිවිය.

එවන් වීරෝධාර රණවිරුවකු වූ ශ්‍රී ලංකා යුද හමුදාවෙ කොමාන්ඩෝ රෙජිමේන්තුවෙ සේවය කර රට වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ සේපාල රත්නායක (M D S Rathnayake) අභීත රණවිරුවා විසින් තම මවට 1991.09.04 වෙනි දින ලියන ලද අවසන් ලිපියයි.

“අද 04යි
යුධ

ආදරනීය අම්මා තාත්තා වෙත,

අම්මේ මම තවම සුවෙන්. දෑනට සතියකට පෙර අපි කෑලේට අවා. ඊයෙ ලොකු කදවුරකට ගෑහුවා. උදේ 9 සිට රෑ වෙනකල් ගහල ඒක ඈල්ලුවා.හෙට තව කදවුරකට ගහනවා.

අම්මේ දුක් වෙන්න එපා. සෙබලා යුද්ද කරන්න ඕන. මම සෑහෙන්න කල්පනා කරලා තම‍යි මේ ගමන ආවෙ. ඉතින් අම්මේ දෙවියන්ගෙ පිහිටෙන් මම තවම පෙරමුනේ නොසෑලී ඉන්නවා. ඒ ගැන අම්මා සතුටු විය යුතුයි. මේ ලිපිය ලියන්නේ බොහොම අමාරුවෙන් කෑලේ මෑද ඉදලා. හෙට හෙලිකොප්ටර් එකෙන් එවන්න.

ඉතින් අම්මේ මම මෑරුනත් දුක්වෙන්න එපා. මම බයේ දුවලා, හෑංගිලා මෑරෙන්නේ නැහැ. ඉදිරියට ගිහින් නියම කමාන්ඩෝ සෙබලෙක් වගේ සටන් කරලා තමය් මැරුනත් මැරෙන්නෑ. අම්මේ බයවෙන්න දුක්වෙන්න එපා.සතුටින් ඉන්න. දැන් කලුවරයි. මම නවතිනව.

අම්මා තාත්තා, නන්ගී ඈතුලු සියලු දෙනාට බුදු සරණයි.

පුතා
සේපාල”

කාන්තා තොල් හාදුවලින් වැසුණු ලොව එකම සොහොන් ගැබ..

සොහොන් කොතක බොහෝ විට සදහන් වන්නේ මිය ගිය පුද්ගලයකු පිළිබද මතක සටහන්. එහෙත් එසේ නොවී සොහොන් ගැබක් පුරා කාන්තා තොල් හාදු පවතින්නේ නම් එය අසාමාන්‍ය ස්ථානයක් බවට සැකයක් නැහැ. මේ ලෝක පූජිත මිනිසකුගේ එවන් අසාමාන්‍ය සොහොන් ගැබක් පිළිබදයි.
ඔහු 19 වන සියවසේ ලෝකයට බොහෝ දේ ලබා දුන් “ඔස්කාර් වයිල්ඩ්”ය. ප්‍රකට ලේකකයෙක්, නාට්‍ය කරුවෙක්, පුවත්පත් කලාවේදියෙකු වූ වයිල්ඩ් අයර්ලන්ත ජාතිකයෙකි. ඔහු වයස හතලිස් හයේදී මියගියේය. පසුව ප්‍රංශයේ පැරිස් නුවර ටොන් 20ක් බර සොහොන් කොතක් ඔහු වෙනුවෙන් ඉදි විය.
එය වසර විස්සක් පමණ එසේ පැවතුනා. නමුත් ඔස්කාර් ට දැඩි ලෙස ආදරය කල රසිකාවියක් දිනක් පැමිණ එම සොහොන් කොතට හාදුවක් දුන්නා. ඇයගේ දෙතොල් ආලේපනය එහි සටහන් කලේ ඇයගේ තොල්වල සටහනයි. පසුව පැමිණි කාන්තාවන් ද මෙය දුටු පසු ඒ අයුරින්ම සොහොන් කොත සිප ගැනීම නිසා ත්,පසුව විනෝදාංශයක් ලෙස කාන්තාවන් මෙය සිප ගැනීම නිසා රතු පැහැ දෙතොල් මුද්‍රා වලින් වැසී ගියා.

පසුව වීදුරු ආවරණයකින් සොහොන් ගැබ වට කළා.
දැන් පැමිණෙන රසික රසිකාවියන් රෝස මල් තබා ඔහුට අචාර කරයි. විශේෂත්වය වන්නේ සොහොන් කොතෙ ඉදි කර ඇති මිසර ශිෂ්ඨාචාරය සිහිගන්වන කාන්තා රුපයේද දෙතොල් රතු පහ ගන්වා තිබීමයි.
එම අපුරු සොහොන් ගැබේ වීඩියෝව පහතින් නරඹන්න.

 

අග හිඟකම් මැද ඉපිද,ලොව ප්‍රමුඛපෙලේ ව්‍යාපාර තැනු, කීල්ස් සමාගමේ අයිතිකාරයා.

මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයකි. චරිතයකි. නායකත්වයට පූර්වාදර්ශයකි. ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකිකයෙකි. ඔහු පිළිබඳ සෙවීම, විමසීම, අධ්‍යයනය කිරීම යනු දැනුම් සම්භාරයක් ලබා ගැනීමයි. සම්මුඛ සාකච්ඡාවක් ගැනීම උගහට වුවද එය අත් නොහළේ ද එබැවිනි.
පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා.
කෙන් බාලේන්ද්‍ර නම් දැවැන්තයා ඇතුළේ තව කවුද ඉන්නෙ…
සතුටින් හිනාවෙලා ඉන්න සරල මනුෂ්‍යයෙක්. හරියි කියලා හිතෙන දේ නොබියව කරන, මහන්සිවෙලා වැඩකරන, තමන් එක්ක වැඩකරන මිනිස්සුන්ව බලා ගන්න බොහොම ආදරණීය මනුෂ්‍යයෙක්.
මොනවද අද ඔබ මේ රටට කරන්නේ…
දැවැන්ත සමාගම්, බැංකු මොන තරම් කතා කළත් මං පඩියට වැඩ කරන එක නැවැත්තුවා. දැන් මං වැඩ කරන්නෙ, වෘත්තීය පුහුණු හා නිපුණතා අමාත්‍යාංශය යටතේ කෙරෙන වැඩසටහන්වලට විතරයි. ඒ, එක සතයක් හෝ නොගෙන. වෘත්තීය පුහුණුව රටේ ආර්ථිකයට ප්‍රබලව බලපාන සාධකයක්.
ඔබේ විශේෂඥ දැනුම තිබෙන්නේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ. ඇයි වෘත්තීය පුහුණුවට යොමු වුණේ…
තෘප්තියට. අද අපේ රටේ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා මිලියනයකට වඩා තිබෙනවා. පුහුණු ශ්‍රමිකයන් නැහැ. ඉදිකිරීම්වලට පිටරටින් සේවකයො ගේන්න වෙලා. තරුණ අය ත්‍රිවිල් පදවමින් වයසට යනවා. ලංකාවට කෝ තරුණ ශ්‍රමය. තරුණ ජවය. වෘත්තීය පුහුණුවට තියෙන ඉල්ලුම ලෝකෙ අති විශාලයි. අපේ තරුණ පරපුරට මං මුලා නොවී හොඳ රැකියාවක් කරන්න සහ ආර්ථිකය හදාගන්න අත්වැලක් වෙන්නයි මං මේ වැඩේට බැස්සේ.
ඔබ දැක්මක් ඇති නායකයෙක්. (Visionary Leader). ඒ නායකත්වය ඔබේ අනුගාමිකයන්ට දුන්නෙ කොහොමද…
හොඳම උදාහරණය අද ජෝන් කීල්ස් සභාපති සුසන්ත රත්නායක මහත්මයා. නියෝජ්‍ය සභාපති, අජිත් ගුණවර්ධන මහත්මයා. හැකියාවන්ගෙන් පිරිපුන් තරුණ විධායක නිලධාරින් සමඟ ඒ කාලෙ මං ‘2020 Team’ එකක් හැදුවා. මේ දෙන්න ම ඒ ටීම් එකේ අය. නොබියව කතා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලය විවේචනය කිරීම… වගකීම… වගවීම, කණ්ඩායමෙන් බැහැර යන අය නැවත කණ්ඩායම තුළට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැනි පොදු අරමුණු ගණනාවක් මේ 2020 ටීම් එකෙන් නිරන්තර සිදුවුණා. ඒ හරහා නායකත්වය සඳහා අඛණ්ඩව අනුගාමිකයන් බිහිවුණා. ඔවුන්ගේ සිතිවිලි සෑම විටම සාමූහිකයි. ඒ වගේ ම, ආයතනික කේන්ද්‍රීයයි.
ඔබට අනුව හොඳ නායකයෙක් වෙන්නේ කොහොමද…
නායකයා යනු, විල්ලුද රෙදි කඩකින් එතූ යකඩයක්. කාරුණිකව කටයුතු කිරීම වගේ ම අවශ්‍ය තැනදි ඔහු තදට සිටිය යුතුයි. ඔහුට ප්‍රතිඵලයයි, මූලික. ආයතනික අරමුණු ඉලක්ක අබිබවා යන ආකාරයයි ඔහු නිතර සිතිය යුතු. තමන්ගෙ නිෂ්පාදන හෝ සේවාවේ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම, තමන්ගේ සමස්ත සේවක මඩුල්ල කොයි තරම් විශාල වුවත් ඔවුන් තමන්ගෙ දැක්ම තුළ රඳවා ගැනීම අතිශය වැදගත්. සේවකයන්ගෙන් බලාපොරොත්තු වන විනය ඔහු තුළත් තිබිය යුතුයි. මේ වගේ කාරණා බොහෝමයක් තිබෙනවා.
හොඳ නායකයෙක් නොකළ යුතු දේ මොනවද…
සේවකයන් හා ගනුදෙනුවේදි පාවිච්චි කරන වචන උඩින් පල්ලෙන් අතපත ගෑ වදන් නොවිය යුතුයි. හරවත් දේ හැර මුසාබස් නොකිව යුතුයි. සේවකයන් රැවටීම, හංගාගෙන කතා කිරීම, ලොකුකම ආරූඪ කර ගැනීම ඔහුට තරම් නොවන දෙයක්. කිසියම් ප්‍රධානියකුට තමන්ගෙ සේවකයන්ට හිනාවකින් හෝ සංග්‍රහ කිරීමට නොහැකි නම් ඔහු සේවකයන්ගේ හිත්වලින් ඈත් වන්න පටන් ගන්නෙ එතැනින්. ඔහු අනවශ්‍ය ලෙස සතුරන් ඇති නොකර ගත යුතුයි. වංචා නොකළ යුතුයි. කේළම් ඇසුවොත් සමහර විට ඔහු නැති කර ගන්නෙ තමන්ගේ හොඳම සේවකයා. ඒ වගේ ම අනවශ්‍ය කාන්තා ඇසුර හා ඔවුන්ගේ අතකොලු බවට පත් නොවිය යුතුයි. එසේ වුවහොත් ප්‍රධානියා විතරක් නොවෙයි, ආයතනයත් විනාශ වෙනවා.
ආයතනයක් දියුණුවෙන්න බලපාන හොඳ ම සාධකයක් කියන්න…
ටීම් එකක නායකයා, අග්‍රගණ්‍යයේ ‘ප්ලේයර්’ කෙනෙක් විය යුතුයි. වයසක අධ්‍යක්ෂවරු මත ම ‍නොයැපී තරුණ ජවය හා තරුණ අදහස් ගන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් දක්ෂයෙක් විය යුතුයි. ආයතනයකට බොස්ලා වැඩක් නැහැ. අවශ්‍ය, වැඩදන්න හොඳ නායකයො පමණයි.
මොකක්ද ඔබේ මුල් ම රස්සාව…
හපුගස්තැන්න වතු යායේ ‘ක්‍රීපර්…’. මං සෙල්ලම් කරපු රගර් මැච් බලන්න ජේම්ස් ෆින්ලේ සමාගමේ යුරෝපීය ජාතික, ජෙනරල් මැනේජර් නිතර ආවා. එයා තමයි මට ෆින්ලේස් එන්න ආරාධනා කළේ. මං අවුරුදු හතක් ගත කළේ තේ සහ රබර් එක්ක. ටයිම් කීපින්… ඉංග්ලිෂ්… ඇතුළු බොහෝ දේ ඉගෙන ගත්තෙ දියුණු කරගත්තෙ මගේ ඒ පළවෙනි රස්සාවෙන්.
මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක…
‍ජෝන් කීල්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වීම. බොස්ටොක් සහ බ්ලැක්ලර් සුදුජාතික මහත්වරුන්ට පස්සෙ සභාපති වුණේ මං. මම ඉල්ලුම් කරලා අාව එකම රස්සාව, ජෝන් කීල්ස් පමණයි. එතැනින් උඩට මං යන්නෙ පර්ෆෝමන්ස්වලින්. මට ම හදාගත්තු වටිනාකම්වලින්. ඒ වටිනාකම්වලට ලැබුණු ආරාධනා මතයි ඉතිරි සෑම දෙය ම සිද්ධ වුණේ.
වෘත්තීය ජීවිතය පුරා ම ඔබ ඉතා සතුටින් වැඩ කළ කෙනෙක්. මොකක්ද රහස…?
කාරණා දෙකක් තියෙනවා. එකක් රෝයල් එකේ ඉගෙන ගැනීම. දෙක රගර් ගැසීම. ඉතා දක්ෂ හොඳ ගුරුවරු යටතේ ඉගෙන ගත්තා. ගෙදර සහ පාසලෙන් ලැබුණු විනය අපිව හොඳ මිනිසුන් කළා. රගර් ගැසීමෙන් ලද පන්නරය දරා ගැනීම, හික්මීම සතුටින් වැඩ කරන්න හේතු වුණා. අනික තමයි, මේ වගේ හොඳ දේවල් එක්ක මං ගොඩනැඟුණු එක. මගේ ස්ටාර් එකත් හොඳ වෙන්න ඇති.
ජෝන් කීල්ස් සමාගමට ඔබ කළ හොඳ ම වෙනස කුමක් ද…
දෙයාකාරයි. එක ‘2020 Team’ එක හදපු එක. අනික ගැහැනු අයව ‘බෝඩ්’ එකට පත් කළ එක. අනුෂියා කුමාරස්වාමි… රජී ගුණවර්ධන වැනි හතර පස් දෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට ආවේ ඒ වෙනසෙන්.
ඔබට තවමත් සමාගම්වලින් ආරාධනා ලැබෙනවද…
ඔව්. විදේශීය සමාගම්වලින් පවා. මං ජෝන් කීල්ස් සමාගමෙන් අයින් වුණාට පස්සෙ ඉන්ටර්නැෂනල් කම්පැනි කිහිපයක විධායක නොවන සභාපති, අධ්‍යක්ෂතනතුරුවල හිටියා. තේරුමක් නැහැ. තීන්දු තීරණ ගන්නෙ පිටරට තිබෙන මවු සමාගම. හැබැයි ඉන්නවට අපිට හොඳට ගෙවනවා. වැඩක් නොකර නමට විතරක් පඩියක් අරන් මොකටද… මං ඒ තැන්වලින් අයින් වුණා.
හැබැයි ඔබ හිටපු බොහෝ සමාගම්වල ඔබ ස්වර්ණමය යුගයක් හැදුවා.
එහෙම කළා නම් කළේ යථාර්ථවාදි දර්ශනයක් හරහා පමණයි. ඒකට කණ්ඩායම් හැඟීමෙන් යුතු ප්‍රායෝගික මනුෂ්‍යයෙක් වීම ප්‍රමාණවත්. ඒ හරහා සියල්ල ළඟා කර ගත හැකියි. ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගත හැකියි.
කොයි තරම් ප්‍රායෝගික වුණත් සභාපතිවරයකුට පතුලට බැසිය හැකි සීමාවක් තිබෙනවා…
ඒ ගැන මං උදාහරණයක් කියන්නම්. එතකොට මං වෝකර්ස් ටුවර්ස් සමාගමේ සභාපති. නිකොමාන් සමාගමේ සංචාරකයො සියලු දෙනාව ම එව්වෙ අපිට. දවසක් මට කෝල් එකක් ආවා එයාර්පෝට් එකෙන්. ‘මෙහෙ ලොකු කලබලයක්. ඔයාලගේ සංචාරකයන්ගෙ බෑග් සංවිධානාත්මකව කට්ටියක් බලෙන් අරන් ගිහින් බස් එකට දාලා සල්ලි ගන්නවා කියලා. මං ගියා එයාර්පෝට්. ඊළඟ ෆ්ලයිට් එකේ ආපු හැම දෙනාගෙ ම බෑග් මම බස් එකට පටවන්න ගත්තා. පහුවැනිදා පත්තරේ මුල් පිටුවෙ ගියා ලොකු පින්තූරයක් ‘වෝකර්ස් සමාගමේ සභාපති, සංචාරකයන්ගේ බෑග් උස්සාගෙන යන අයුරු…’ කියලා. මේ තමයි මගේ විදිය. මගේ පෞරුෂත්වය.
කවුද ඔබට පූර්වාදර්ශ වූ ව්‍යපාර නායකයන්…
හපුගස්තැන්න වතුයායෙදි මට මුණගැහුණු මගේ පළමු බොස්, සේපාල ඉලංගකෝන් මහත්මයා. ඊළඟට ජෝන් කීල්ස් සමාගමේ මාක් බොස්ටොක් සහ ඩේවිඩ් බ්ලැක්ලර් මහත්වරු. ඔවුන්ගේ විශිෂ්ට ගුණාංග. මං මගේ ජීවිතයට ගත්තා වගේ ම මාව අනුගමනය කළ අයගෙ ජීවිතවලටත් ඒ දේවල් කා වැද්දුවා.
ඒ දේවල් ඔබේ ජීවිතයේ හැබෑවටම තිබුණ ද…
ඒ නිසා තමයි, ලංකා බැංකුවෙ, විනිමය හුවමාරු කොමිසමේ සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ විධායක නොවන සභාපතිව හිටි කාලයේ එක සතයක වැටුපක් නොගෙන වැඩ කළේ. එක වෙලාවක චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මගෙන් අහනවා, ‘කෙන් ඔයා මට හරි කරදරයක්. ඔයාට පඩි තුනක් ගෙවනවා. වාහන තුනක් තියෙනවා. සෙකට්‍රීස්ලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මුකුත් ම නොගන්න එක ප්‍රශ්නයක්…’ කියලා. මැඩම්! ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ වගේ ම, මගේ කොන්දේසිය…’ එච්චරයි. මං කිව්වෙ. රාජ්‍ය සේවයට මං, එදා වැඩ කළෙත් නොමිලේ. අද වැඩකරන්නෙත් නොමිලේ.
මොකක්ද, ඔබට ම ආවේණික Management Style එක…
ඒක, විශ්වවිද්‍යාලෙ ගිහින් ලොකු තියරිවලින් ඉගෙන ගත්තු එකක් නෙවෙයි. විශ්වවිද්‍යාලෙ නොගියට ජෝන් කීල්ස් සමාගමේදි මං විසිදාහක් විතර පාලනය කළා. මගේ ක්‍රමය තමයි, පහළ ම සිට උඩට යන කල් හැම සේවකයා එක්ක ම සමීපව වැඩ කිරීම. මගේ ළඟ පංති භේද නැහැ. ‘මහ ජාතිත්’ නැහැ.
ඔබ අනුගමනය කළ සුහදශීලී නායකත්වය හැම විට ම සාර්ථක වුණා ද…
ජෝන් කීල්ස්, සමාගමේදි වගේ ම මං විධායක නොවන සභාපති වෙලා හිටපු ලංකා බැංකුව වගේ රාජ්‍ය ආයතනවලදි පවා බෝඩ් මීටින්වලට පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා. යම් මීටිමකට කවුරු හරි පරක්කු වෙලා එනවා කියන්නෙ එතැන ඉන්න අනිත් අයගෙ විශාල මිනිස් පැය ගණනක් විනාශ කර දැමීමක්. ඒක ආයතනයකට හොඳ තත්වයක් නෙවෙයි.
බ්‍රැන්ඩික්ස් සමාගම, ඔවුන් ගේ නවීන කාර්යාල ගොඩනැඟිල්ල ඔබ වෙනුවෙන් නම් කළා නේද…
ඔව්. ජෝන් කීල්ස් සමාගමෙන් රිටයර් වුණාට පස්සෙ ඔවුන් මට ආරාධනා කළා, බ්‍රැන්ඩික්ස් සභාපති ධුරයට. අවුරුදු දහයක් මං ඔවුන් එක්ක වැඩ කළා. ඒ කාලය පුරා ආයතනය ලැබූ ප්‍රගතිය, දැක්මක් ඇති කණ්ඩායමක් බිහිකිරීම වැනි කාරණා මුල් කරගෙන තමයි ඔවුන් මේ ඇගැයීම කළේ. බ්‍රැන්ඩික්ස් හෙටත් ඉදිරියට යන්නෙ මං හදපු ඒ සමහර සංකල්ප එක්ක. ඒ ගැන මට හරි සතුටුයි.
ළමා කාලෙ ගැන ඔබට තිබෙන හොඳ ම මතකය කියන්න…
පුංචි කාලෙ අපි හිටියෙ කොල්ලුපිටියෙ 25 වැනි ලේන් එකේ පොඩි කුලී ගේක. අපේ ගෙවල් පිටිපස්සට වෙන්න, ඒ කියන්නෙ අද ලිබර්ටි ප්ලාසා එක තියෙන තැන ඔක්කොම තිබුණෙ මුඩුක්කු ගෙවල්. ළමයි ගොඩයි. අපි ඒ ළමයි එක්කත් සෙල්ලම් කළා. තාරවත් දමලා නැති ගුරුපාරක් වෙච්චි ඩුප්ලිකේෂන් පාරෙ තමයි අපි ක්‍රිකට් ගැහුවේ. බයිසිකල් පැද්දෙ. ලිබර්ටි ප්ලාසා පහුකරන හැම වෙලාවක ම ඒ ලස්සන අතීතෙ මට මතක් වෙනවා.
එතකොට ඉස්කෝලෙ ගියේ…
ඩුප්ලිකේෂන් පාරේ ඉඳන් රෝයල් එකට මිනිත්තු පහළොවක දුරක්. අපි හැමදාම ගියේ පයින්. ඉඳහිට රික්ෂෝ එකේ. අපේ ගේ ළඟ තිබුණා ‘ජෝන් ඇන්ඩ් කම්පනි’ ස්ටුඩියෝ එක. ඒකෙ අයිතිකාර මහත්තයයි එයාගෙ පුතයි ඉඳහිට අපිව කාර් එකෙත් දාගෙන ගියා.
එ‍තකොට යාපනෙත් එක්ක තිබුණු සම්බන්ධතාව මොකක්ද…
මං ඉපදුණේ යාපනේ. ඉනුවිල් ඉස්පිරිතාලේ. ආච්චි සීයා එහේ. නංගිව මල්ලිව ලැබෙන්න ඉන්නකොට අම්මා හැම වාරෙකම යාපනේ ගියා. තාත්තා නිවාඩු කාලෙට අපිවත් අරන් තාත්තගේ ‘රේල්වේ වොරන්ට්’ එකෙන් යාපනේ ගියා. ඉතින් මුළු නිවාඩු කාලෙ ම අපි ගත කරන්නේ නෑයන්ගේ ළමයි එක්ක.
ඔබ වගේ කෙනෙක් ළමා කාලෙත් අදක්ෂයෙක් වෙන්න බැහැ…
මං දක්ෂ ව‍ුණේ සෙල්ලම් කරන්න. තාත්තා වැඩට යන්න ලෑස්තිවෙලා පාන්දර හතරහමාරට අපිවත් ‘පඩි… පඩි… පඩි… (පාඩම් කරන්න… පාඩම් කරන්න) කිය කියා කූද්දනවා. මං අනිත් පැත්ත හැරිලා බුදියනවා. ඕ ලෙවල්ස්වලින් මං ක්‍රෙඩිට් පාස් පහක් ගත්තා. හැබැයි මෙඩිකල් කොලේජ් යන්න ම හිතාගෙන ලියපු යුනිවර්සිටි එන්ට්‍රන්ස් ෆේල්.
ළමයෙක් හැටියට ඔබට තිබුණු හීන සහ අරමුණු මොනවද…
අම්මා තාත්තාට ඕනෙ කළේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මං ආසා කළේ ශ්‍රී ලංකාවේ ටීම් එකට රගර් ගහන්න. ඒත් ඒක බැරිවුණා. 1957, 58, 59, 60 මුළු කාලෙ ම ඉස්කෝලෙට රගර් ගැහුවා. බ්‍රැඩ්බි කුසලානෙට ට්‍රිනිට් එකත් එක්ක සෙල්ලම් කරපු එකයි, සි‍ලෝන් බාබේරියන්ස් ටීම් එකේ සෙල්ලම් කරපු කාලෙයි තමයි මගේ හොඳ ම කාලෙ. රෝයල් එකෙන් අස් වෙන‍කොට මං රග්බි ටීම් ‍එකේ වයිස් කැප්ටන්.
ජීවිතයේ අරපිරිමැස්ම… අඩුපාඩුකම් කවදාවත් විඳලා තියෙනවද…
‘ජැෆ්නා ටැමිල්’ මිනිස්සුන්ට අරපිරිමැස්ම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක ඔවුන්ගේ ඇ‍ඟේ ම තියෙනවා. නගර සභාවේ රස්සාව කරපු තාත්තගෙ පඩිය රුපියල් හත්සිය පණහයි. ළමයි පස්දෙනෙක්. හිටියෙ කුලී ගේක. අම්මා – තාත්තා දරුවො ඇතුළු හත් දෙනෙක් ජීවත් වුණේ ඒ පඩියෙන්. සරල කෑම් බීම්, සරල ඇඳුම් පැලඳුම්…
අඩුපාඩුකම් දරා ගනිද්දිත් ඔබ එහෙම ම හිතුවද…
කවදාවත් ඒවා ලොකුවට හිතුවෙ නැහැ. එන හැටියට මුහුණ දුන්නා. දවසක් GOH එකේ ලොකු මඟුල් ගෙදරකට අපේ හිතවතකුගෙන් අයියටත් මටත් ආරාධනා ලැබුනා. ඇඳුම් තියෙන්නෙ අයියට විතරයි. මට නැහැ. ඉතින් මොකද කරන්නේ, ඉස්සරවෙලා අයියා ගියා. එයා ගිහින් ගෙදර ආවම ඒ ඇඳුමම ඇඳගෙන මාත් ගියා. අඩුපාඩුකම් ඉදිරියේ අපි ජීවිතේ සමහර දේවල් බෙදා ගත්තෙ එහෙමයි.
ඔබ වගේ කෙනෙක් ඇයි හැමදාම අනුන්ට විතරක් වැඩකළේ…
ෆින්ලේස් හැරුණුකොට ජෝන් කීල්ස්… වෝකර්ස් ටුවර්ස්… චෙව්රෝන් ලුබ්රිකන්ට්ස්, ටුබැකෝ, ඇමරිකන් ටුබැකෝ… බ්‍රැන්ඩික්ස්… මේ හැම තැනකම මං හිටියෙ ඉහළ ම තනතුරුවල. ඔවුන් මට හොඳට ගෙව්වා. මාව බලා ගත්තා. මං රටවල් තිහ හතළියකට ගියා. ගුවන් යානයක ගියත් ඒ පළවෙනි පංතියේ. මං හුඟක් කැමැති නැව් සංචාරවලට. ඇති තරමට ඒවත් ගියා. ඉතින් වෙන මොනවද… මට කවදාවත් හිතුණෙ නැහැ, මගේ ම බිස්නස් එකක් කරන්න.
කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා…
තව ම ඉන්නවා. සතියකට දෙපාරක් ගොල්ෆ් සෙල්ලම් කරන්නෙ, තුන් හතර දවසක් ජිම් යන්නෙ ඒ ක්‍රීඩකයා ම තමයි. වයස 76යි. ඒ වුණාට මට එහෙම හිතෙන් නෑ. දැනෙන්නෙත් නැහැ. මගේ වයිෆ්ට ඕනෙ දැන් මට යෝගා කරවන්නත්.
බිරිය ඔබට හුඟක් ආදරේ හැඩයි…
ඔව්. ඔව්. එයා මට මුණගැහුණෙ හපුගස්තැන්න වත්තෙ වැඩකරන කාලෙ. එයා රත්නපුර හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ කළා. එයාගෙ නම ස්වෛරී. සිංහල බෞද්ධ. මං දෙමළ හින්දු. අපි මුණ ගැහුණා. ආදරේ කළා. කෝවිලේදි පෝරුවේදි විවාහ වුණා. දරුවො ලැබුණට පස්සෙ එයා වෛද්‍ය වෘත්තිය අත්හැරියා.
ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරනවද…
මම නෙවෙයි අම්මලා හුඟක් විශ්වාස කළා. මගේ ලග්නෙ ධනු. අවුරුදු 81 දි මං මැරෙනවා කියලයි සාස්තරකාරයො කියලා තියෙන්නෙ. මං ඉතින් දැන් බලාගෙන ඉන්නවා. (හිනැහෙමින්)
තාත්තෙක් හැටියටත් ඔබ සාර්ථකයි කියලා හිතෙනවද…
ක්‍රිෂාන් බාලේන්ද්‍ර මගේ පුතා ජෝන් කීල්ස් සමූහයේ විධායක අධ්‍යක්ෂවරයෙක්. නටාෂා බාලේන්ද්‍ර මගේ දුව. ළමා රක්ෂණ අධිකාරියේ. මේ දෙන්නගේ ළමයින් පස් දෙනා තමයි දැන් මගේ යාළුවෝ. මහා තක්කඩි රැලක් (හිනැහෙමින්). මට නටන්න… සිංදු කියන්න…. දුවන්න… හැංගෙන්න, සෙල්ලම් කරන්න ඇති තරම් අවස්ථා තියෙනවා මේ පස්දෙනාගෙ කල්ලිය නිසා.
විශේෂ ස්තුතිය
මයිකල් කිත්තම්පහුව මහතාට
ඡායාරූප – විමල් කරුණාතිලක
උපුටා ගැනීම:සිළුමිණ.

නරපුර ඉන්දුව මන්ත්‍ර සුරයෙන් ප්‍රේමදාස ජනපති කල “කිරි අප්පුහාමි”

956 වර්ෂයේ මෙරට සිදු වූ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික විප්ලවයේ නිර්මාතෘවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා චීවරධාරියකුගේ සාහසික වෙඩි ප්‍රහාරයට ලක්වූයේ 1959 වර්ෂයේ සැප්තැම්බර් මස විසිහය වැනිදාය. කොළඹ රොස්මීඩ් පෙදෙසේ “ටින්ටපල්” නම් වූ සිය නිවසට පැමිණි බෞද්ධ භික්ෂුවකට දණ නමා වදින විට ඒ භික්ෂුව සමීප දුරක සිට වෙඩි තබන ලද බව පැවසෙයි. අගමැතිවරයා බරපතළ තුවාල ලැබ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීම මිය ගියේය.

පොඩි මිනිසාගේ හද ගැස්ම හඳුනාගෙන පොදු ජනයා සමඟ වෙසෙමින් පුංචි තැනකින් පටන්ගෙන මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වූ ආර්. ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන කොටින්ගේ මිනිස් බෝම්බයකට ගොදුරු වී මිය ගියේ 1993 වර්ෂයේ මැයි මස පළමු වැනි දිනය. මෙරට තැලෙන පෑගෙන මිනිසුන් නඟා සිටුවීමට සුවිශේෂි මෙහෙවරක් කළ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොළඹ, ආමර් වීදියේදී ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු විය.

සුරේ බලේට හයියෙන් කතා කළොත් අනිත් අයට මුත්‍ර යනවා

මේ ජන නායකයන් දෙදෙනාගේම යුග මෙහෙවර වසර තුන – හතරකට සීමා වූ අතර (රාජ්‍ය පාලන නායකත්වය ගෙන) ඒවා සීමා කළේ ඝාතන මගිනි. මේ ඝාතන පිළිබදවත්, ඒ දෙදෙනාගේ චරිත ලක්ෂණ පිළිබඳවත් අපේ රටේ මාධ්‍ය එදත් කතා කළේය. අදත් කතා කරයි.

බණ්ඩාරනායක හා ප්‍රේමදාසගේ ජීවිතවල ඇතැම් සිදුවීම් හා බැඳුණු අත්දැකීම් ඇති පුද්ගලයකු මීගලෑව, රැස්වෙහෙර, පොතානගම වෙසෙන බවට ලැබුණු හෝඩුවාවක් මත මම ඔහු සොයා ගියෙමි. ආර්.එම්. කිරි අප්පුහාමි හෙවත් යූ.බී. වෙදමහත්තයා නමින් ගම්මුන් හඳුන්වන්නේ ඔහුය.
දිවංගත අගමැතිවරයා හා ජනාධිපතිවරයා සමඟ බැඳුණු අත්දැකීම් කතා කිරීම සිත යට සඟවා ගෙන යූ.බී. වෙදමහත්තයාගේ ජීවිත වතගොත ගැන පළමුව හාරා ඇවිස්සූවෙමි.

“1947 අවුරුද්දේ තමයි මම ඉපදිලා තියෙන්නේ. පුංචි කාලේදීම මම පැවිදි වුණා. මාවරමණ්ඩියේ සුදර්ශනාරාමයේ තමයි මගේ පැවිද්ද සිද්ධ වුණේ. වන්නිහත්පත්තුවේ ප්‍රධාන සංඝ නායක මහපොතානේගම සුදර්ශි නායක හිමි මගේ ගුරුහිමියන් වුණා. දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙනේ මූලික අධ්‍යාපනය ලැබුවා. වැඩි කාලයක් හිටියේ නෑ මම උපැවිදි වුණා.

නැවත මම හෙයියන්තුඩුව, එඩරුහේන්දෙණිය පුරාණ විහාරයේ අධිපති දොරගමුවේ පියදස්සි ලොකු හාමුදුරුවන් ළඟ පැවිදි වුණා. ලොකු හාමුදුරුවෝ මන්තර ගුරුකම්වලට දක්ෂයි. සෙත්කවිවලටත්, හඳහන් බලන්නත් දක්ෂයි. මම මුලින්ම මන්තර සාස්තර ඉගෙන ගත්තේ ලොකු හාමුදුරුවන්ගෙන්.

දවසක් හමුදාවේ ලොකු තනතුරක් දරන මහත්තයෙකුයි එයාගේ නෝනයි ලොකු හාමුදුරුවේ හම්බ වෙන්න අපේ පන්සලට ආවා. ඒ දෙන්නාගේ දුවකට බබෙක් හම්බ වෙන්ඩ රෝහලේ නතර කරලා ඉද්දී බබා කුසේදීම මියැදිලා කීවා. මිය ගිය දරුවා එළියට ගන්ඩ ඔපරේෂන් එකක් මවට කරන්න ඕන කියලා දොස්තර මහත්තුරු කියනවා කියලා ඒ අය හාමුදුරුවන්ට කීවා. මේ දෙන්නා දුවට අනතුරක් වෙයි කියා බයවෙලා. දුවට අනතුරක් නොවන්න මොනවා හරි කරලා දෙන්න කියලා ඒ දෙන්නා ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියා.

අගමැති බණ්ඩාරනායක මරන්න හෙණරාජ තෙල් දාපු රත්තරන් උණ්ඩයක් ජීවම් කළාලු

ඒ දෙන්නා ගියාට පස්සේ ලොකු හාමුදුරුවෝ මට කතා කරලා මන්තරයක් දීලා ඒක කට පාඩම් කරන්න කීවා. මම ඒක කට පාඩම් කරලා ලොකු හාමුදුරුවන් ළඟ පාඩම් දුන්නා. පස්සේ හාමුදුරුවෝ මට තැඹිලි ගෙඩියක් දීලා ඒක ජීවම් කරන්න කීවා. මම අර මන්තරය කියමින් තැඹිලි ගෙඩිය ජීවම් කරමින් ඉන්නකොට තැඹිලි ගෙඩිය පිපිරුණා. ඒ ගැන මම හාමුදුරුවන්ට කීවා. හාමුදුරුවන්ට පොඩි හිනාවක් ආවා තැඹිලි ගෙඩිය පිපිරැණා නම් ඒ වතුර හැලෙන්නේ නැතිව භාජනයට දාන්න කීවා.
හවස හතට විතර අර හමුදාවේ මහත්තයි නෝනයි පන්සලට ආවා. මළ කුණ බිහි වුණා කීවා. එතකොට තමයි මම දන්නේ ලොකු හාමුදුරුවෝ මම ලවා තැඹිලි ගෙඩියක් ජීවම් කරවලා තියෙන්නේ අර තැනැත්තියගේ කුසේ තිබුණ මළ දරුවා එළියට ගන්න කියලා. ඕක තමයි මගේ මුල්ම ගුරුකම.

අපේ ලොකු හාමුදුරුවෝ යු.එන්.පී. කාරයෙක්. ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන මහත්තුරු සමඟ ලොකු සම්බන්ධයක් තිබුණා. ඒ අය පන්සලට ආවා ගියා. බුද්ධරක්ඛිත සෝමාරාම වාගේ හිමිවරු සමඟත් අපේ ලොකු හාමුදුරුවෝ හිතවත්.

බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයෙන් පස්සේ දොරගමුවේ පියදස්සි ඔබේ ගුරු හිමිත් අත්අඩංගුවට ගත් බව පැවසෙනවා. ඒ ගැනත් කතා කරමුදයි මම යූ.බී. වෙදමහත්තයාට යෝජනා කළෙමි.

බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයෙන් පස්සේ අපේ ලොකු හාමුදුරුවොත් පොලීසියෙන් ඇවිත් අල්ලාගෙන ගියා. පෑලියගොඩ පොලිසියට තමයි අරන් ගියේ. කටඋත්තරයක් අරන් ආපහු එව්වා.

මොන කාරණා සම්බන්ධයෙන්ද ඒ ප්‍රකාශය ලබාගෙන තියෙන්නේ? මම යූ.බී. වෙදමහත්තයාට බාධා කෙළෙමි.
අපේ පන්සලේ දාන ශාලාව ළඟ තැඹිලි ගසක් තිබුණා. ඔය ගසේ තැඹිලි ගෙඩියකට හෙණරාජ තෛල්‍ය දාලා රත්තරන් උණ්ඩයක් ජීවම් කරලා තැඹිලි ගෙඩියට වෙඩි තිබ්බා කියලා කතාවක් ඒ දිනවල පැතිරිලා ගියා. හෙණරාජ තෙල් දමා තිබූ තැඹිලි ගෙඩියට වෙඩි තිබ්බාට පස්සේ ඒක පිපිරුවා කියලා ප්‍රචාරය වුණා. බණ්ඩාරනායක අගමැතිතුමත් හෙණරාජ තෙල් දාපු සුරයක් පැළදගෙන සිටියලු. ඒ බලය බිඳින්න රත්තරනින් හැදු උණ්ඩයක් ජීවම් කරලා වෙඩි තිබ්බ කතාවක් පැතිරැණා. ඒක අත්හදා බැලුවේ අපේ පන්සලේ කියලා තමයි ලොකු හාමුදුරුවෝ අල්ලාගෙන ගියේ. මේවා මිනිස්සු අතර පැතිර ගිය මත. අපි ඒ කාලේ පුංචි අයනේ. සිදුවීම් විතරයි මතක තියෙන්නේ.

සුරය දුන්නම ෙප්‍ර්මදාස මහත්තයා ගමකට තෑගි දුන්නා

තවත් කාරණයක් තිබුණා ලොකු හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න. අපේ ලොකු හාමුදුරුවන්ට තල්දූවේ පන්සලක් තිබුණා. සෝමාරාම හිමි අපේ ලොකු හාමුදුරුවන් සමඟ හිතවත් නිසා ඒ පන්සල සෝමාරාම හිමිට නතර වෙන්න දීලා තිබුණා. කට උත්තර ගන්න ඒකත් හේතුවක් වුණා. සෝමාරාම හිමි හිරේ ඉඳලා අපේ හාමුදුරුවන්ට එවපු ලියුම් මේ මෑතක් වනතුරු මගේ ළඟත් තිබුණා.

බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයෙන් පස්සේ හාමුදුරුවන්ට හරියට හිරිහැර වුණා. පාරක බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වුණා. පන්සල්වලට දන් දුන්නේ නෑ. දායකයෝ පන්සල්වලට ආවේ නෑ. භික්ෂුන්ගේ මූණටම ගරහන අවස්ථා තිබුණා. දායක දායිකාවන් දෙපිලකට බෙදුණා. ගිහි පැවිදි දෙපක්ෂයම මේ තත්ත්වයට පත්වුණා.

අපේ පියදස්සි ලොකු හාමුදුරුවෝ අපවත් වීමෙන් පසු මම ගියා නද්දේගම පන්සලේ දළුපිටියේ සුමන හිමි ළඟට. එතැන අවුරුදු හය හතක් ඉඳලා මම උපැවිදි වුණා. අපේ තාත්තත් මට කීවා ගෙදර එන්ඩ කියලා. ඒ ඇවිත් ගොවිතැන් බත් කරන අතර යන්තර මන්තර ගුරුකම් කරන්නත් පටන් ගත්තා. පියදස්සි හාමුදුරැවන්ගෙන් ඉගෙන ගත් සාස්තරේට අමතරව අපේ කඳුබොඩ පරපුරෙන් ආපු සාස්තරය තමයි මම කරන්නේ.

දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාටත් ඔබ ගුරැකම් කරලා දීලා තියනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තදයි මම විමසුවෙමි.

ඒ කාලේ මං ඇහැටුවැව, නිතෝගම දේවාලයට යන්තර ඇඳලා දුන්නා. අපේ මහප්පා වැඩ කළෙත් ඒ දේවාලයේ ඔය කියන්නේ 1988 අවුරුද්දේ. නිතෝගම දේවාලය ඒ කාලේ හරි ප්‍රසිද්ධයි. ඒකේ අප්පුහාමි වෙදමහත්තයා සමඟ ප්‍රේමදාස මහත්තයාගේ සම්බන්ධයෙන් තිබුණා. ඒ වාගේම රුවන්වැලිසෑය චෛත්‍ය පන්සලේ වැඩ විසූ ඇතිනිමලේ ගුණරත්න නායක හාමුදුරුවොයි, ප්‍රේමදාස මහත්තයයි අප්පුහාමි වෙද මහත්තයයි මේ තුන්දෙනා අතරත් ලොකු හිතවත්කමක් තිබුණා.
දවසක් මම දේවලයේ වැඩකරමින් ඉන්නකොට අප්පුහාමි වෙදමහත්තයා මගෙන් ඇහුවා නරපුර ඉන්දුව මන්තරයෙන් ජප කරන්න දන්නවාද කියලා. මම කීවා දන්නවා කියලා. ප්‍රේමදාස අගමැතිතුමාට පොඩි වැඩක් කරලා දෙන්න තියෙනවා. ඒකට ලෑස්ති වෙලා ඉන්ඩ කියලා වෙදමහත්තයා කීවා. එතකොට ප්‍රේමදාස මහත්තයා අගමැති වශයෙන් හිටියේ.

මේ නරපුර ඉන්දුව මන්තරය හරි බලගතුයි. රත්හඳුන් හා රත්තරන් උරච්චි කරලා (ගල ගාලා) ඒ කුඩු සුරයකට දාලා ජීවම් කරන්න ඕන. ජනතාව වැදුම් පිදුම් කරන බෝධියක් මුල තමයි ජීවම් කරන්න ඕනත්. මේ නරපුර ඉන්දුව මන්තරයෙන් ජීවම් කරලා පංච මාල යන්තරය දැම්මට පස්සේ කිසිම කෙනෙක් එයාට උඩින් කතා කරලා ඉහළින් යන්නේ නෑ. දැපනෙ වැටෙනවා වගේ වෙනවා. හයියෙන් කතාකළොත් අනෙක් අයට මුත්‍රා යනවා. මේ මන්තරය ලියාපු පුරාණ ඉසිවරු අන්තිමට ලියලා තියෙනවා මෙය ගින්දර හා සමානයි. ලෝකයට බෝ නොකරනු කියලා.

මං මේ කියන කාලය වනවිට ජනාධිපතිවරණයට ආසන්නයි. ඒ වාගේම රටේ හරියට කලබල. උතුරයි දකුණයි දෙකේම භීෂණය. පාරක බැහැලා යන්ඩ බැරි තත්ත්වයක් තිබුණේ.

අප්පුහාමි වෙද මහත්තයාගේ ඉල්ලීම පිට මායි, වෙද මහත්තයාගේ බෑනා කෙනෙකුයි වෙදමහත්තයි අනුරාධපුරයේ උඩමළුවට ගියා. ඇතිනිමලේ ගුණරතන නායක හිමියෝ අනුදැනුම මත මායි අර බෑනයි දෙන්නා එකතු වෙලා ජයසිරි මහ බෝ හාමුදුරුවන් ළඟ උරිච්චි කරලා ගෙනාව රත්හඳුන් හා රත්තරන් කුඩු ජීවම් කරන්න පටන් ගත්තා. රෑ දෙකක් හා දවල් දවසක් එක දිගටම ජීවම් කළා. රන්වැට ඇතුළේ තමයි මේ කටයුත්ත කළේ.

ප්‍රේමදාස මහත්තයට වැඩේ කරලා දුන්නෙ නරපුර ඉන්දුව මන්තරයෙන්

ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා රැවන්වැලි සෑය පන්සලට ආවා. මම ඒ දිනය මගේ දින පොතේ ලියාගෙන තියෙනවා. 1988 ඔක්තෝබර් විසිඑක් වැනිදා. ආවාස ගේ ඇතුළදි තමයි ප්‍රේමදාස මහත්තයාට ඒක දුන්නේ. අප්පුහාමි වෙදමහත්තයා තමයි ඒ කටයුත්ත සිද්ධ කළේ. ප්‍රේමදාස අගමැතිතුමා එදා අපට තෑගි භෝග දුන්නා. බොහෝ ෙළන්ගතුව කතා කළා. මට මතක හැටියට අසූ අටේ දෙසැම්බර් මාසේ දහනම වැනිදා තියාපු ජනාධිපතිවරණ මැතිවරණයෙන් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණා.

ටික කාලයකට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ආවනේ. ඒ වෙලාවෙත් මමයි වෙදමහත්තයාගේ බෑනයි සුචරිතයට ගිහින් අර සුරය නැවත ජීවම් කරලා අලුත් කරලා දුන්නා. සුචරිතයේ කාමරයක් ඇතුළේ තමයි ඒ කටයුත්ත කළේ. ඒ අවස්ථාවේ නම් ප්‍රේමදාස ජනාධිපතිතුමා අපව හමුවෙන්න ආවේ නෑ. ලේකම් කෙනෙක් තමයි අපට පහසුකම් දුන්නේ. වැඩේ ඉවර වුණාට පස්සේ අපට තෑගි භෝග මිල මුදල් ඒ ලේකම් මහත්තයා දුන්නා.

කොහොම නමුත් එතුමාගේ අවසන් කාලේ නිතෝගම දේවාලයත් සමඟ තිබුණු සම්බන්ධතා ඈත් වුණා. රටේ ප්‍රශ්න, පක්ෂයේ ප්‍රශ්න, කාර්යබහුල වීම නිසා එහෙම වෙන්න ඇති* යි ආර්.එම්. කිරි අප්පුහාමි මහතා අවසන්වරට කීය.
අප විශ්වාස කළද නොකළද පෙරපර දෙදිගම පොදු ජනයා මෙන්ම රාජරාජ මහාමාත්‍යයෝද අදෘශ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාස කරති. විශ්වාස කළහ. ඒවාහි සරණ පැතූහ. යූ.බී. වෙදමහත්තයා කී කතාවලින්ද අපට පසක් කරන්නේ එයයි.

♦ ගල්ගමුව – නිහාල් ජයවීර

උපුටා ගැනීම :දේශය.

1958 දී මිලදී ගත් කාමර 03ක පොඩි නිවසේ සිටින ලොව දෙවැනි ධනවතා හෙළි කල විශ්මිත රහස්

ලොව ප්‍රමුඛත ම කොටස් වෙපොළ ආයෝජකයෙකු මෙන් ම ලොව ධනවතුන් අතර දෙවැනි තැන රැඳෙන වොරන් බුෆේ සිය සාර්ථකත්වයේ රහස පිළිබඳ කිසිවෙකුට අදහාගත නොහැකි කරුණු රැසක් CNN පුවත් සේවය හමුවේ පසුගියදා අනාවරණය කළේය.

ඔහු සතුව ඇපල් සමාගමේ කොටස් ඇතත්, ඇපල් ජංගම දුරකතනයක් භාවිතා නොකරයි. ඔහු තවමත් භාවිතා කරනුයේ මීට බොහෝ ඉහතදී මිලදී ගත් සරළ ජංගම දුරකථනයකි. වසර 20ක් හෝ 25ක් භාවිතා නොකර මා කිසි දෙයක් බැහැර කරන්නේ නෑ තමන් සතු පැරණි ජංගම දුරකථනය මහත් ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කරමින් ඔහු කියා සිටියේ මේක තමයි මට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දායාද කළ දුරකථනය යනුවෙනි.

ඕනෑම දෙයක් දිගුකාලීනව භාවිතා කිරීමේ පුරුද්ද ඔහු සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා ද මැනවින් යොදා ගත්තේය. කිසියම් සමාගමක කොටස් මිලදී ගැනීමේදී, එම කොටස් අවම වශයෙන් වසර 10ක් හෝ ළඟ තබා ගැනීමට අකැමැති නම් ඒවා මිලදී නොගත යුතු යයි ඔහු පවසයි.

වොරන් බුෆේ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වුව ද ඔහු ජීවත කාලය පුරා ම ඉ-මේල් පණිවිඩ යවා ඇත්තේ එක් අවස්ථාවකදී පමණි. මේ අනුව ඔහු නව්‍ය තාක්ෂණයට අසීමිත බියක් දක්වන සාමප්‍රදායික පුද්ගලයෙකු බව පෙනෙන්නට ඇතත්, ඔහු පවසන්නේ තමන් ජීවත් වන්නේ තමන්ට ම ආවේණික ක්‍රමවේදයකට අනුව බවය.

ලොව ධනවත් ම පුද්ගලයෙකු බවට පත් වුව ද ඔහු අදටත් ජීවත් වන්නේ 1958 වසරේදී ඩොලර් 31,500 කට මිලදී ගත් නිදන කාමර තුනකින් යුතු නිවසේය. 2014 වසර වන තුරු ම පැරණි කාඩිලැක් මෝටර් රථයේ ගමන්-බිමන් ගිය ඔහු, නව මෝටර් රථයක් මිලදී ගැනීමට කැමැත්ත පල කළේ ජෙනරල් මෝටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බලවත් ඉල්ලීම මතය. මම අවුරුද්දකට ම මෝටර් රථයෙන් ගමන් කරන්නේ සැතපුම් 3,500 ක් වගේ දුරක්. ඒ නිසා මට හැම වෙලේ ම මෝටර් රථ මාරු කරන්න අවශ්‍ය නැහැ යනුවෙන් ඔහු පවසයි. ඔහු සතුව පුද්ගලික ජෙට් යානයක් ඇතත්, ඔහු එය භාවිතා කරනුයේ අත්‍යවශ්‍ය ව්‍යාපාරික හමුවීම් සඳහා පමණි.

ආයෝජකයෙකු වශයෙන් ඔහු විශාල කීර්ති නාමයකට හිමිකම් කියන බැවින් ඔහු පවසන සෑම වචනයක් ම විශ්වාස කිරීමට ලෝකයා පෙළඹී ඇත. ප්ර්වණතාවලට තමන් පාලනය කිරීමට ඉඩ නොතැබීමට ඔහු තරයේ වගබලා ගනී.

ණය කාඩ්පත් භාවිතය නතර කර තමන් වෙනුවෙන් ආයෝජනය කරන ලෙස ඔහු තරුණ ප්‍රජාවට පවසයි. Òමුදල් මිනිසා නිර්මාණය කළේ නැත; මුදල් නිර්මාණය කරන ලද්දේ මිනිසාය යන්න ඔහුගේ ආදර්ශ පාඨයයි.

හසිත කැකුලාවල
උපුටාගැනීම: දිනමිණ පුවත්පත.

ජපන් බෝම්බෙන් ගිළුණු නැවට ගිහින් හැම අවුරුද්දෙම මල් තියන ලංකාෙව් කිමිදුම්කාරයා

ගුවන් යනා විස්සක් ගෙන යා හැකි ලොව පළමු ගුවන් යානා අංගනයක් සහිත යුද නෞකාව ලෙස ලෝක නෞකා ඉතිහාසයට එක් වූ බ්‍රිතාන්‍යයේ උපන් දැවැන්ත හර්මිස් ආසියා පැසිෆික් කලාපයේ යුද මෙහෙයුම්වල නිරත වන මිත්‍ර පාර්ශ්වයට හිත හොඳ ශක්තිවන්ත මිතුරෙක් විය.
මේ 1942 වසන්තයේ උදාවයි. එහෙත් වසන්තය විශ්වයෙන් අනන්තයක නතරව උන්නේය. ඒ දෙවැනි ලෝක යුද්ධයේ කළු සෙවණැලි සැහැල්ලු රන්වන් වසන්තයක දෙවුරට බර වැඩි වූ හෙයිනි. ඒ වෙද්දී හර්මිස් බ්‍රිතාන්‍යය කිරීටයේ තවත් යටත් රාජ්‍යයක් වූ ලංකාවට අනුයුක්ත කර තිබුණි. එහෙයින් හර්මිස් නවාතැන් ගෙන උන්නේ නිල්වන්ව රළ නඟන සුන්දර ලංකා මුහුදේය.

නැවේ සිටි අයගෙන් එක්කෙනෙක් අදටත් ජීවතුන් අතර

1942 අප්‍රේල් 05 ඉරිදා දවසකි. ඒ ඉරිදාව දෙවියන් වහන්සේ මරණයෙන් උත්ථාන වීම සිහිකරන පාස්කු ඉරිදාවක්ව යෙදී තිබුණෙන් සෑම දේවස්ථානයකම සතුටේත් ආයාචනයේත් යාඥාවන් ඇසෙන්නට විය. රාගම තේවත්ත පල්ලියේ එදින පූජාව පැවැත්වෙද්දී ජපන් ගුවන් යානා ඉහළ අහසේ සැරි සැරෑහ. කිතුණු පූජකයාණෝ එදා ඒ පූජාවේදී දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ මේ ආක්‍රමණයෙන් ලංකාව බේරාදෙන ලෙසය. එසේ බේරා දුන්නොත් දෙවියන් වහන්සේ වෙනුවෙන් විසල් බැසිලිකාවක් හදන්නටද ප්‍රතිඥාවක් දුන්නේය. තේවත්ත බැසිලිකාවේ උපත ඒ පොරොන්දුව පදනම් වූවක් යැයි විශ්වාස කෙරේ.
ඒ පාස්කු ඉරිදාව ගෙවී ඉනික්බිති හතරවැනි දවස පැමිණියේය. ඒ බ්‍රහස්පතින්දාවකි. දිනය 1942 අප්‍රේල් 09 වැනිදාය.
යුද උන්මාදයෙන් ඇළලී ගිය ජපනුන් අමෙරිකාවේ පර්ල් වරායට පහරදී ඉන් නොනැවතී සිංගප්පුරුවත් ආක්‍රමණය කර H.M.S Repulse සහ Peace Of Wales යන දැවැන්ත නෞකාවන්ද ගිල්වා බෙංගාල බොක්ක දෙසට ආක්‍රමණයේ යතුර කරකවමින් සිටියේය. ඒ අද්මිරාල් නගුමෝ ගුකී නම් ජපන් ජාතික යුද උත්තේජකයාගේ අණ යටතේය. නගුමෝ ගුකී 1942 දෙවැනි ලෝක යුද සමයේ විශාල මිනිස් සංහාරයක නියමුවාව වූ අතර අවසානයේ තම හෘද සාක්ෂියද තමන්ට එරෙහිව වගවෙද්දී ඔහුම ඔහුගේ ඉරණමේ තීරකයා වූ බව සඳහන්ය. ඔහු අවසානයේ සියදිවි නසාගත්තේය.

බෙංගාල බොක්ක දෙසට වේගයෙන් ඇදී ආ ජපන් යාත්‍රා සමූහය මුලින්ම දර්ශනය වී තිබුණේ බ්‍රිතාන්‍ය හමුදාවේ ස්කොඩ්න් ලීඩර් ලෙනාඩ් බර්චිල්ටය. ස්කොඩ්න් ලීඩර් බර්චිල් තමන් දුටු දසුන් පිළිබඳව වහාම රත්මලාන ගුවන්තොටුපොළේ රාජකීය ගුවන් හමුදාවට දැනුම් දුන්නේය. අවසානයේ ජපන් අත්අඩංගුවට පත් ස්කොඩ්න් ලීඩර් බර්චිල් නිදහස ලද්දේ II ලෝක යුද්ධයේ සමාප්තියෙන් පසුව බවට ඉතිහාසය සාක්ෂි දරයි.
දෙවන ලෝක යුද්ධය වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෝක යුද්ධයක් විය. හිරු නොබසින අධිරාජ්‍යයේ අවසන් හෝරා කිහිපය ද එය විය. බ්‍රිතාන්‍යයන් දෙවැනි ලෝක යුද්ධයට සක්‍රීය දායකත්වයක් සැපයීමත් නාසි කඳවුරට ආසියාතික ජපානය සම්බන්ධ වීමත් නිසා ආසියාවට ද යුද්ධයේ උණුසුම දැනෙන්නට විය. 1942 වසරේ ජපනුන් කොළඹට බෝම්බ දැමුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. කොළඹට පසු ජපනුන්ගේ ඉලක්කය වූයේ ආසියාවේ නාවික බලයේ කේන්ද්‍රය ලෙස සැලකෙන ත්‍රිකුණාමලය වරායයි.

නැවේ ඛේදවාචකය දුටු එකම සාක්ෂිකාරයා හිටපු මන්ත්‍රි ප්‍රින්ස් කාසිනාදන්

1942 අප්‍රේල් 9 වැනිදා ඔත්තු සේවයේ යෙදුණු බ්‍රිතාන්‍ය ගුවන් භට නිලධාරියෙකුට ලංකාවට නැගෙනහිර මුහුදේ සිට පැමිණෙන ජපන් නෞකා සමූහයක් දක්නට ලැබුණි. ඒ වනවිට සිංගප්පූරුවේ බලය අල්ලාගෙන සිටි ජපනුන් ත්‍රිකුණාමලය ඉලක්ක කරගනිමින් එන බව හොඳින් පැහැදිලි විය. බ්‍රිතාන්‍ය ගුවන් හමුදා නිලධාරියා මෙම ඔත්තුව කොළඹට ලබාදුන්න ද ඒ වනවිටත් ප්‍රමාද වැඩිවී තිබුණේ, ජපන් අහස් යාත්‍රා නෞකාවලින් මිදී ලංකාවේ අහස බලා ඇදෙමින් තිබුණු බැවිනි. කොළඹට මහත් විනාශයක් අත් කරදුන් ජපන් අහස් යාත්‍රා ත්‍රිකුණාමලය දෙසට නැවත යනවිට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව සතුවූ වටිනාම නෞකාවක් වූ හර්මිස් තිබුණේ මඩකලපු මුහුෙද්ය. නෞකාවන්ට ලංකාව අවදානම් බව වටහාගත් බ්‍රිතාන්‍යයෝ වහාම මාලදිවයින් මුහුද කරා යන ලෙස දැනුම් දුන්හ. එහෙත් ප්‍රමාද වැඩිය. ත්‍රිකුණාමලයෙන් පිටත්ව ගමන්ගනිමින් තිබූ හර්මිස් නෞකාව මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදේ දී ජපන් ආක්‍රමණයට ගොදුරු විය.
ඒ අකම්පිත මහ මුහුද පවා සලිත කළ හර්මිස් නෞකාවේ ඉරණම් කතාවේ සංක්ෂිප්තයයි. මහා සාක්ෂිකරුවෙක් ලෙස නැගී සිටින ඉතිහාසය පවසන පරිදි එදා උදෑසන ජපන් අහස් යාත්‍රා 80ක් පමණ සමූහයක් ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට හා වරායට දරුණු ප්‍රහාර එල්ල කර එමින් සිටියදී දකුණු දෙසින් පියාසර කර තිබූ ගුවන්යානයකට දර්ශයන වූයේ හර්මිස් නෞකාවය.

මාන්කන්වල තිබූ ඉන්ධන සැපයුම් නෞකාවක් වූ බ්‍රිටීෂ් සාජන් නෞකාවද ඒ වෙද්දී දෙකඩ කර ගිල්වා තිබූ ප්‍රහාරාත්මක ජපන් යුද සේනාවෝ උදෑසන 10.45ට පමණ හර්මිස් නෞකාව මත පළමු බෝම්බය අතහැරියහ.
මේ සංසිද්ධියට පෙර එවකට ලංකාවේ හමුදාපතිවරයා වූ අද්මිරාල් සර් ජේමිස් සෝමවිල් බ්‍රිතාන්‍ය නැව්වලට ප්‍රබල තර්ජනයක් පවතින බව දැක අණ දී තිබුණේ බ්‍රිතාන්‍ය නෞකාවන්ට වහාම ලංකාද්වීපයේ මුහුදු සීමාවෙන් පිටව යන ලෙසය. මාලදිවයිනේ ගැන්අයිලන්ඩ් වෙත යාත්‍රා කරන ලෙස හර්මිස් නෞකාවටද අණ ලැබී තිබුණත් අප්‍රේල් 9 වැනි දින වනතෙක් එයට ගැන් අයිලන්ඩ් දක්වා යාත්‍රා කිරීමට නොහැකි වූයේ ඒ වනවිටත් එය අලුත්වැඩියා කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා තිබූ බැවිනි. එදින උදෑසන 6.00ට අලුත්වැඩියා කටයුතුවලින් ඉනික්බිති යාත්‍රාව ගමන් ඇරඹුවත් ඒ වෙද්දිත් හර්මිස් ප්‍රමාද වූවා වැඩිය. දෙවියන් අහක බැලූ නිමේෂයක හර්මිස්ගේ රුදුරු ඉරණම සයුරු කේන්දරය මත ලියැවෙමින් තිබුණි.

තමන් මළ පසු භෂ්මාවශේෂ නැවේ තැන්පත් කරන්නයැයි ඡායාරූප ශිල්පියා ඉල්ලුවා

ජපනුන්ගේ පළමු බෝම්බය හර්මිස්ගේ හදවත ඉලක්ක කොටගෙන එල්ල වෙද්දී බ්‍රිතාන්‍ය නාවිකයෝ කිසිදු ප්‍රතිප්‍රහාරයකට සූදානම්ව නොසිටියෝය. ඔවුන් සූදානම්ව සිටියේ මාලදිවයිනේ ගැන් දූපතේ නැංගුරම්ලන්නට යන ගමන වෙනුවෙන් පමණි. එහෙත් අනපේක්ෂිත මොහොත හමුවේ ඔවුහු වික්ෂිප්ත නොවී ප්‍රතිප්‍රහාර එල්ල කළහ. ගුවන් යානා කිහිපයක්ද බිම හෙලූහ. අහසත් මුහුදත් අතර වියරු මනුෂ්‍යත්වයේ ගනුදෙනුව විනාඩි තිහක් පුරා පැවතිණි. මහී මාතාවෝ කම්පිතව අහසත් සයුරත් දෙදුරුම් කන හඬ අසා සිටියහ. එහෙත් බ්‍රිතාන්‍ය නාවිකයන්ට වඩා අහසේ සිට යුද වැදි ජපනුන්ගේ ශක්තිය බලවත් විය. අවසානය ළඟාවෙද්දී බෝම්බ 40ක් පමණ හර්මිස්ගේ බඳ පුරා වැටී තිබුණි.
එදා හර්මිස් නෞකාවේ බ්‍රිතාන්‍ය නිලධාරින් සහ නාවිකයන් හත්සියයකට වැඩි පිරිසක් සිටි අතර ඉන් හාරසියයක් පමණ දිවි ගලවා ගන්නට තරම් වාසනාවන්ත වූහ. හර්මිස්ගේ ඔදතෙද බිඳී ගෙවී ගිය පස්වැනි හෝරාවේ අවසන් තත්ත්පරයේදී එතැනට ළඟා වූය් විටාර් නම් ආරෝග්‍යශාලා නෞකාවය. (Hospital Ship) මීට පැය පහකුත් විනාඩි 30කට පෙර මිත්‍රත්වයෙන් ජීවිතය බෙදාහදාගත් තම සගයන් තුන්සීය දෙදෙනෙක් ඒ වෙද්දී මළවුන් අතරය. ආවොතින් යායුතුය නොගොසින් යළි එන්නට බැරිය ලොව ඇතේ යාම් ඊම් පමණි… එදිරිවීර සරච්චන්ද්‍රයන් ගැන, නොරිකෝසං දෙව්න්දරෝ සං ගැන ඔවුන් දැන සිටියේ නැත. බුදුන් වහන්සේ වදාළ ජීවිතයේ අනිත්‍යතාවය ගැන ඒ බ්‍රිතාන්‍ය නාවිකයන් දැන සිටියේ නැත. ඔවුන් දැන සිටියේ සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත බව පමණි.
හුස්මක් නොවැටෙන මිනිසුන් අතර හුස්මක් ගනිමින් එහෙත් ආත්මීය වශයෙන් මොහොතක් මොහොතක් ගානේ මියැදෙමින් සිටි ඒ නාවිකයෝ විටාර් ආරෝග්‍ය ශාලා නෞකාව ඔවුන් වෙත පැමිණෙද්දීත් දැඩිසේ හෙම්බත්ව සිටියහ. මේ අතර එහි සිටි විසිතුන්දෙනෙක් කිලෝ මිටර් අටහාමාරක දුරක පිහිනා ගොස් ගොඩබිම වෙත ගොස් සිටියහ.
හර්මිස් නෞකාවට ජපන් අහස් යාත්‍රා බෝම්බ එල්ල කළ මොහොතේ සිට ගෙවුණු පැය බාගය සියැසින් දුටු එක් සාක්ෂිකරුවෙකු අදටත් ජීවතුන් අතරය. ඒ සාක්ෂිකරුවා මඩකලපු දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිය ප්‍රින්ස් කාසිනාදන් නැමැති දේශපාලනඥයාය. 1942 වෙද්දී ඔහු අවුරුදු දාසයක ගැටවරයෙකි. මේ ගැටවරයා ඕලන්ද කොටුවේ සිට මේ ත්‍රාසජනක සිද්ධිමාලාව ගැහෙන හදවතින් යුතුව බලා සිටි වග ඔහු පසුකලෙක ඔහු විසින් ලියූ ලිපියක සඳහන් කර ඇත.

එවකදි මඩකළපුවේ කච්චේරියේ මුඩ්ලියර් ලෙස සේවය කළේ ප්‍රින්ස් කාසිනාදන්ගේ තාත්තාය. අප්‍රේල් 09 වැනිදා ප්‍රහාරයෙන් පසු මේ මුඩ්ලියර් තවත් පිරිසක් සමඟ කල්ලඩි වෙරළට ගියේ එදා ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත් වූ බ්‍රිතාන්‍ය නාවිකයන් තිදෙනෙකුගේ මළකඳන් වෙනුවෙන් අවසන් යුතුකම ඉටුකරන්නටය. කල්ලඩි වෙරළට ගොඩගසා තිබූ ඒ මළකඳන් ත්‍රිකුණාමලයේ කොමන්වෙල්ත් සුසාන භූමියේදී මිහිදන් කෙරිණි. බ්‍රිතාන්‍යයේ උපන්නෝ ලක්පොළොවේ සයනය කෙරුණි. ඒ තිදෙනාට හැර කපිතාන් ආර්.ජී. ඔන්ස්ලෝ ඇතුළු නිලධාරින් 19 දෙනෙකු සමඟ අවසන් ගමන් ගිය සෙසු නාවිකයන්ගේ සුසානය වූයේ හර්මිස් නෞකාවමය.
ඔබ විස්මයට පත් විය යුතු නැත. එදා හර්මිස් නැවේ සිට දිවි ගලවාගත් හාරසීය දෙනාගෙන් එය අයෙක් අදටත් ජීවතුන් අතරය. වයස අවුරුදු අනූ ගණනක් වන ඔහු ස්ටැන් කහ්ට්ස්ය. ඔහුගේ ඥාතින් විද්‍යුත් තැපෑල ඔස්සේ අදටත් සබඳකම් පවත්වන ලාංකික කිමිඳුම්කරුවෙක් සිටී. ඔහු ගැන අපි ඔබට පසුව කියන්නෙමු.
හර්මිස් ඛේදවාචකයෙන් පසු එදා ඒ නෞකාවේ සිටි හෙන්රි ගෘෘම්ගේ පවුලේ අයට ලංකාවේ සිටි බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණු විදුලි පුවතකින් කියැවුණේ ඔහුද මළවුන් අතර බවය. එහෙත් ඉන් සතියකට පසු තවත් ආශ්චර්යමත් විදුලි පුවතක් ඒ ආදරණීයයන් වෙත ලැබුණි. ඉන් කියැවුණේ හෙන්රි ගෘෘම් ජීවතුන් අතර බවය. එදා බෝම්බ ප්‍රහාරයේදී ගෘෘම් සිහි නැති වී මුහුදේ පාවෙමින් සිට ඇති අතර දෛවය නැවත ඔහු වෙත ප්‍රාණය ප්‍රදානය කර තිබුණි. 2012 වසරේදි ඔහුගේ දියණියක වූ ලෙස්ලි හාකර් ලාංකික කිමිඳුම්කරුවෙකුට විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවමින් ඉල්ලා සිටියේ තම පියාගේ කතාව තමාට දැනගන්නට අවශ්‍ය බවත් මීට වසර දෙකකට පෙර ඔහු පිළිකාවකින් මිය ගිය බවත්ය. එමෙන්ම ලෙස්ලි තම පියා පිළිබඳව එදා ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍යයන් යැවූ විදුලිපුවතේ පණිවිඩයේ පිටපතක්ද මේ කිමිඳුම්කරුවා වෙත එවා තිබුණි. හර්මිස් ඛේදවාචකය අළලා පරිච්ඡේදය එතෙකින් සමාප්තය. ඊළඟට ලියැවෙන්නේ එහි දෙවැනි පරිච්ඡේදයයි.

ෆිලීෂියන් ප්‍රනාන්දු නම් වෘත්තිමය කිමිඳුම්කරුවා හා හර්මිස් නෞකාව අතර බැඳීම දෙවැනි පරිච්ජේදයේ සමාරම්භයයි. කලක් නෞකාවක සේවය කළ ෆිලීෂියන් ප්‍රනාන්දු පසුව සංචාරක මඟපෙන්වන්නකු ලෙස තම වෘත්තිය ජීවිතය ගෙනයනු වස් සංචාරක මණ්ඩලයේ පාඨමාලාවක් කරන්නට යොමු වුණේය. එහි පාඨමාලා අධ්‍යක්ෂකවරයා වූයේ පී.ටී. පෙරේරාය. ලංකාවේ මුහුදු සීමාවේ මඩකලපුව ප්‍රදේශයේ ගිලීගිය හර්මිස් නෞකාව ගැන ෆිලීෂියන්ට කීවේ ඒ පාඨමාලා අධ්‍යක්ෂකවරයාය.

හර්මිස් නැව අද ෙසාෙහාන් බිමක්ඒ වගේම ලස්සන උද්‍යානයක්

එතැන් සිට ඔහු ගැඹුරු මුහුදේ මළවුන්ගේ සුසානයක් වූ නෞකාව සොයා යන අභිප්‍රාය ඇති කර ගත්තේය. ෆිලීෂියන්ට පෙර මිරැන්ඩා නම් කිමිඳුම්කරුවෙක් ධීවරයින්ගේ මඟ පෙන්වීම අනුව අඩි 120ක ගැඹුරට ගොස් තිබුණි මම නැවක් වගේ තැනකට ආවා. ඒත් ඒක මොකක්ද කියලා මට හරියටම හොයාගන්න බැරි වුණා. නමුත් ඒක නෞකාවක්. ඔහු ඒ ගැන කර තිබූ සඳහන එයයි. ඉන් පසුව රොඩ්නි ජොන්ක්ලස් නම් කිමිඳුම්කරුවෙක්ද හර්මිස් සොයන්නට ප්‍රයත්න දරා තිබුණි. එකල ජී.පී.එස් තාක්ෂණය වැනි දියුණු තාක්ෂණ ක්‍රමවේද නොතිබුණු අතර පසුව යුද සමයේ හර්මිස් කාටත් අමතක වූ මාතෘකාවක් බවටද නිතැතින්ම පත්විය. අප කළින් පරිච්ඡේදයේ සඳහන් කළ ප්‍රින්ස් කාසිනාදන් මන්ත්‍රීවරයා හර්මිස් නෞකාව මඩකලපු මුහුදු සීමාවේ ගිලී ගිය බවට ලියා ඇති ලිපියක්ද පසුකලෙක ෆිලීෂියන්ට හමුවිය. හර්මිස් ගැන උනන්දුවෙන් පසුවූ ෆිලීෂියන්ට ඔහුගේ සහෝදරයකු වූ ගුවන් හමුදාවේ සේවය කළ වින්ග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දුගෙන්ද ලැබුණේ අපූරු තොරතුරකි.
සුරේෂ් සමඟ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උසස් අධ්‍යාපන පාඨමාලාවක් හදාරමින් සිටි ඔහුගේ සගයෙක් වූ කමාන්ඩර් ක්‍රිස්ටි ජයවර්ධන කියා තිබුණේ 1983-84 වැනි යුගයේදී හර්මිස් නෞකාවේ නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ චාල්ස් මෝගන් ලංකාවට පැමිණි බවය. ඔහු පැමිණ තිබෙන්නේ මුහුද යට සදාකල් නිදනා හර්මිස්ගේ ඡායාරූප රැගෙන ඒ ඛේදවාචකය ගැන පොතක් ලියන්නටය. ඒ පින්තූර ගන්නට ඔහුගේ සගයෙකු වූ කිමිඳුම්කරුවෙක්ද ඔහුට උදවු කර ඇත.
චාල්ස් මෝගන් අවසානයේ Hermes Adventure නම් ග්‍රන්ථය රචනා කළේය. චාල්ස් මෝගන්ගේ අවසන් කැමැත්ත වූයේ තමා මිය යාමෙන් පසු ඔහුගේ භෂ්මාවශේෂ හර්මිස් නැව මත තැන්පත් කරනා ලෙසය. ඔහු ඒ තරම්ම හර්මිස්ට ආදරය කර තිබුණි. තම පියාගේ අවසන් කැමැත්ත අනුව 1986 දී ඔහුගේ පුතු රෙක්ස් මෝගන් ලංකාවට පැමිණියේ ඒ භෂ්මාවශේෂද රැගෙනය. ඒ භෂ්මාවශේෂ තැන්පත් කිරීමේ කාර්යයට නාවික හමුදාවෙන් අනුයුක්ත කර තිබුණේ කමාන්ඩර් ක්‍රිස්ටි ජයවර්ධන ඇතුළු නාවික හමුදා පිරිසකි. චාල්ස් මෝගන්ගේ අවසන් කැමැත්ත ඉටුවිය. මුහුද යට හර්මිස් සුසානය මතම එදා මළවුන්ගේ ලෝකයට නික්ම ගිය සගයන් හා චාල්ස් මෝගන්ද එක්විය.
වෙන්ඩුලස් තුඩුවේ සිට අංශක 110ක කෝණයකින් සහ මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට අංශක 30ක කෝණයකින් යුත් ඉසව්වක හර්මිස් සුසානය ඇති බැව් කර්මාන්ඩර් ක්‍රිස්ටි ජයවර්ධනගේ නිශ්චය වී තිබුණි. ඩුබායි, තායිලන්තය, මාලදිවයින, සිංගප්පූරුව රුසියාව වැනි රටවල් රැසක කිමිඳුම් උපදේශකයෙකු ලෙස ජවසම්පන්න පුහුණුවක් ලැබ සිටි මීගමුවේ ෆිලීෂියන් ප්‍රනාන්දු 2001 වසරේ දිනයක හර්මිස් සොයා ගියේය. ඒ වෙද්දි ජී.පී.එස්. තාක්ෂණයද පැමිණ තිබීම ඔහුට හර්මිස් සොයාගැනීමට මහත් ආධාරකයක් විය. එහෙත් පළමු දින ඔහුට වැරදී ගියේය. එදින ඔහු ගියේ එක් බෝට්ටුවකිනි. දෙවැනි දින ඔහු බෝට්ටු තුනක් යොදාගත්තේය. ඒ බෝට්ටු තුන එක ළඟ එක වන්නට නැංගුරම්ලා ඉන්පසු ඒවා අදිද්දී නැංගුරම යමක පැටලුණු අතර ඒ පැටලුණු තැන නිසැකවම හර්මිස් මුහුදයට ඇති ස්ථානය වග ඔහු නිශ්චය කළේය. ඒ නිශ්චය නිවැරදි විය. ඒ වෙද්දී ඉන්දුනීසියාව, මාලදිවයින, සිංගප්පූරුව, රුසියාව ආදි රටවල් රැසක කිමිඳුම් කටයුතු කර සිටි ෆිලීෂියන් කිමිදුම් වාර හාරදහසේ සීමාව ඉක්මවන්නටද ළංව සිටියහ. බ්‍රිතාන්‍ය ජාතිකයෝ 1917 වසරේදී හර්මිස් නෞකාව සැලසුම් කරන ලද්දේ ලොව ප්‍රථම ගුවන් යානා නෞකාව ලෙසිනි. නමුත් 1924 වසරේදී හර්මිස් රාජකීය නාවික හමුදාවේ සේවයට ඇතුළු වනවිට ජපානය හෝෂෝ නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තම සේවයට යොදවා තිබුණි. අඩි 600ක දිගින් යුතු වූ හර්මිස්හි ගුවන් පථය අඩි 570ක් විය. ඊට ගුවන් යානා 20ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබුණි.
මහ මුහුද ගැඹුරේ සුසානයක් බවට පත්ව තිබුණේ එවන් නෞකාවකි.
හර්මිස් නැව තියෙන්නේ මුහුදේ සිට මීටර් 60ක් ගැඹුරින්. ඒත් මීටර් 45දී තමා නැව පටන් ගන්නේ. මම රතු මුහුදෙත් කිමිදී තියෙනවා. ඒත් ඒ තරම් විසිතුරු මත්ස්‍ය ආකරයක් හර්මිස් නැවට ළඟා වෙන මොහොතේ තරම් මම වෙන කිසිම තැනක දැකලා නෑ. මම නැවට කිට්ටු වෙද්දී උන් එක පැත්තකට පීනා ගියේ මින්පෙර ඔවුන් කිමිඳුම්කරුවෙකු නොදැක්ක ගාණට. නැවට හුඟක් කිට්ටු වෙද්දී මම දැක්කා රගර් බෝලයක හැඩේට තිබුණු කොටසේ පුදුම ලස්සනකට Black කොරල් වැවී තිබුණා මීටර් 3ක් විතර උසට. ඇත්තටම අද එය ඉතා ලස්සන උද්‍යානයක්. එහෙත් ඒ උද්‍යානය අභ්‍යන්තරයේ තියෙන්නේ මිනිසුන් හාරසියයක් අමු අමුවේ මිහිදන් වුණ සුසානයක්. අදටත් එහි අයිතිය තියෙන්නේ බ්‍රිතාන්‍යයට. බ්‍රිතාන්‍යයයේ හා අපේ පුරාවිද්‍යා මහ කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් තොරව එය අල්ලන්ටවත් අපට අවසර නෑ. එහි යන හැම කිමිඳුම්කරුවෙකුගෙන්ම අප ඒ බවට පොරොන්දුවකට ලිඛිතව අත්සනකුත් ගන්නවා. අනිත් එක එහි නිෂ්ක්‍රීය නොවුණ බෝම්බ තවමත් තිබිය හැකියි. ඒ නිසා ඇල්ලීමේ අවදානමකුත් තියෙනවා. ඒත් එහි ඇති වීදුරු වන් කවුළු තුළින් මම විදුලි එළියක් පතිතකර බලද්දී දුටුවේ මොනවද කියලා ඔබ දන්නවද? මනුෂ්‍ය ඇටකටු ආකරයක්. ඒ ෆිලීෂියන් ප්‍රනාන්දුය.
එදා ජවසම්පන්න ආඩම්බරකාර හර්මිස් අද සුන්දර උද්‍යානයක් සහ ශෝකාන්ත අතීතයක් වෙනුවෙන් වගවෙන පෞරාණික සුසානයකි.

හර්මිස් නෞකාව පිළිබඳ කතාන්දරයේ දෙවැනි පරිච්චේදය එතකින් සමාප්තය. එහි තුන්වැනි පරිච්ඡේදය මේ පූර්විකාවෙන් අරඹමු.
දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසු එවක බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ සර් වින්ස්ටන් චර්චිල් අමෙරිකාවේ පැවති සාදයකදී කියා තිබුණේ දෙවැනි ලෝක යුද සමය අළලා ලංකාවේ සිදුවූ බිහිසුණුම සිදුවීම හර්මිස් නෞකාව ගිල්වීම බවය.
එදා හර්මිස් නෞකාවේ සිට දිවි ගලවාගත් නැවියන් විසින් පසුකලෙක පිහිටුවාගෙන තිබූ, ඔවුන්ගේ ඥාතින් විසින් පසුව පවත්වාගෙන ගිය අනුස්මරණ සංගමය ෆිලීෂියන්ගෙන් වරක් කාරැණික ඉල්ලීමක් කළේය.
ඔබට පුළුවන්ද හැම අවුරුද්දකම අප්‍රේල් 09 වැනිදාට හර්මිස් නෞකාවේ මල් කළඹක් තැන්පත් කරන්න. ඒ සඳහා යන වියදම් සියල්ල අපි ගෙවන්නම්.
ඒ කාරුණික ඉල්ලීමට ෆිලීෂියන් මනුෂ්‍යත්වයේ නාමයෙන් එකඟ විය. කිමිඳුම් වෘත්තීයේම නියැලෙන ඔහුගේ බිරිය රේණුකාගේත්, පුතු ෂශාන්ගේත් ආශිර්වාදයද ඔහුට හිමිවිය. 2012 වසරේ සිට ඔහු ඒ ඉල්ලීම මේ දක්වා පුරා වසර 5ක් තිස්සේ ඉටුකළේය.

Temple Flowers යන ගෞරවාදරයට පත් සුදු අරලිය මල්කළඹක් ඒ වෙනුවෙන් වඩා සුදුසුයැයි තීරණය කළේද ෆිලීෂියන්මය.
මෙයින් වසර දෙකකට පෙර බ්‍රිතාන්‍යයේ ඩාට්ස් මවුත් නම් කිමිදුම් පුහුණු පාසලේ මාර්ක් පවල් සමඟ කිමිඳුම් කණ්ඩායමක් මෙහි පැමිණ හර්මිස් වෙත ගොස් එහි තම ධජය සවි කළේය. ඒ මීටර් 55ක් ගැඹුරැ තැනකය. අද ෆිලීෂියන් අරලිය මල් කළඹ තබන්නේ ඒ කොඩිය රැඳුණු ඉසව්වේමය.

2017 වසරට හර්මිස්ගේ ඉරණම විසඳී හැත්තෑපස් වසරක් පූර්ණය. මෙවර ෆිලීෂියන් සමඟ අරලිය මල් කළඹ තබන්නට තවත් කණ්ඩායමක් සහ පුතු සෂාන් ද එක් විය.
වසර පහක් පුරා අරලිය මල් කළඹ තබන්නට පෙර මොහොතක් නිහඬව සිට හර්මිස් නෞකාවේදී මළවුන් වෙනුවෙන් ගෞරව දැක්වීම ෆිලීෂියන්ග් චාරිත්‍රයකි. මළවුන් වෙනුවෙන් මුහුද යට මල්කළඹක් තබන්නට ගිය පළමු ලාංකිකයාද ඔහුය.
මනුෂ්‍යත්වය සුන්දරය. වරෙක බියකරැ වූ දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙනුවෙන්ම තවත් වරෙක දෙවියන් වහන්සේගේ කැමැත්තද සුන්දරය. ආදරණීයය.
සංජීවිකා සමරතුංග
සේයාරූ – ෆිලීෂියන් ප්‍රනාන්දු සහ අන්තර්ජාලය