හන්තාන විද්‍යාඥයෝ ලංකාවේ මිනිරන් වලින් හයිබ්‍රිඩ් වාහන සඳහා ලිතියම් අයන් බැටරි නිපදවයි.

ලෝකයේ නව තාක්‍ෂණික මෙවලම් රැසක භාවිත වන ලිතියම් අයන බැටරියේ කෘත‍්‍රිම මිනිරන් වෙනුවට ස්වාභාවික මිනිරන් උපයෝගී කරගැනීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්වී සිටිති.

ජංගම දුරකථන, ලැප්ටොප්, කැමරා, ඉලෙක්ටි‍්‍ර‍්‍රක් කාර්, ඔර්ලෝසු ඇතුළු බොහෝ උපකරණ සඳහා නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරි භාවිත කෙරේ. ඒ සඳහා යොදා ගනුයේ මිලෙන් අධික කෘත‍්‍රිම මිනිරන් ය. මේවන විට ලිතියම් අයන බැටරියට යෝග්‍ය වන පරිදි දේශීය ස්වාභාවික මිනිරන් පර්යේෂණ මගින් වැඩි දියුණු කර සාර්ථකත්වය තහවුරු කර තිබේ. මෙම පර්යේෂණය සඳහා ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය ලබාදෙයි.
මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප‍්‍රධාන විද්‍යාඥ ආචාර්ය අතුල විජයසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර පේරාදෙණිය භූ ඝර්භ විද්‍යා අංශයේ ආචාර්ය නන්ද බාලසූරිය, මහාචාර්ය පිටවල, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි අමරවීර, පශ්චාත් උපාධි අපේක්‍ෂක තිලානි සෙනෙවිරත්න සහ නිරූබා කනගරත්නම් යන මහත්ම මහත්මීහු මේ සඳහා සහයෝගය ලබාදෙති.

පර්යේෂණය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය අතුල විජේසිංහ මහතා මෙසේ පැවැසීය.

‘‘වර්තමානය වන විට නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරිවලට විශාල ඉල්ලූමක් පවතිනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සඳහා භාවිත වෙන ලිතියම් අයන බැටරිවල මිල ඉතා අධිකයි. ඊට හේතුව වන්නේ ලිතියම් අයන බැටරිවල අන්තර්ගත ඉලෙට්‍රෝඩ මිල අධික බැවිනි. ඊට විසඳුමක් ලෙස ස්වාභාවික මිනිරන් උපයෝගී කර ගැනීමට වසර ගණනක සිට අප පර්යේෂණ පවත්වමින් උත්සාහයක නිරත වුණා.’’
‘‘කැතෝඩය, ඇනෝඩය සහ විද්‍යුත්විච්ජේදකය ලෙස බැටරියක් ප‍්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ඇනෝඩය සහ කැතෝඩය බැටරියක් තුළ විශාලත්වය අනුව වැඩි වශයෙන් අන්තර්ගත වන අතර ඒවා ක‍්‍රියාකාරීත්වයෙන්ද වැඩියි. ලිතියම් බැටරියේ ධන අග‍්‍රය මිලෙන් අධික ලිතියම් මූලද්‍රව්‍යයෙන් නිර්මාණය වී තිබෙනවා. සෘණ අග‍්‍රය බැටරියක තිබෙන විශේෂිත සහ වැදගත්ම කොටසක් ලෙස හැඳින්විය හැකියි. මුලින්ම බැටරියේ සෘන අග‍්‍රයට භාවිත කළේ මිල අධික මූලද්‍රව්‍යයි. මේවන විට කෘත‍්‍රිමව සාදාගත් මිනිරන් භාවිත කරනවා. පෙට්‍රෝලියම් නිෂ්පාදනයේදී අතුරුඵලයක් ලෙස කෘත‍්‍රිම මිනිරන් බිහිවෙනවා. එහි ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 20,000 ක් පමණ වෙනවා. එම නිසා දැනට පවතින බැටරිවල මිල අධිකවීමට එය විශාල ලෙස බලපා තිබෙනවා.’’

‘‘ වසර කීපයක් තිස්සේ අප සිදුකළ පර්යේෂණ මගින් ලිතියම් අයන බැටරිවලට දේශීය මිනිරන් යොදාගැනීමේ සඵලතාව තහවුරුවී තිබෙනවා. ලංකාවේ ස්වාභාවික මිනිරන් ලෝකයේ හොඳම මිනිරන් වුවත් ඒවා භාවිතයේදී අපට ඇතිවූ මූලික ගැටලූව නම් එහි අපද්‍රව්‍ය අඩංගුවීමයි. ඒ සඳහා අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කටයුතුවලට බොහෝ දෙනා යොමු නොවූයේ එය ඉතා සංකීර්ණ කාර්යයක් බැවිනි. එහෙත් වසර කීපයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් සියයට 99.99 දක්වා ස්වාභාවික මිනිරන්වල අපද්‍රව්‍ය ඉවත් කර පිරිසුදු මිනිරන් ලබාගැනීමට අපට හැකිවුණා. එහෙත් ලංකාවේ මිනිරන්වල මතුපිට විද්‍යුතයට සම්බන්ධ රසායනික ප‍්‍රතික‍්‍රියා සඳහා අක‍්‍රීයයි. ඊට විසඳුමක් ලෙස අප වෙනම රසායන ප‍්‍රතික‍්‍රියාවකට ලක්කර පිරිපහදු කර සක‍්‍රීය මට්ටමින් දේශීය මිනිරන් ලිතියම් අයන බැටරි සඳහා සාර්ථකව උපයෝගී කරගත්තා.’’
‘‘මේවන විට ලංකාවේ මිනිරන් කිලෝවක් ඩොලර් 1 ක් හෝ 1.5 ත් අතර මිලකට අලෙවි වෙනවා. මෙලෙස මිනිරන් වැඩිදියුණ කළ පසුව ඩොලර් 20 කට පමණ විදේශ වෙළෙඳපොළේ අලෙවි කළ හැකි වනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් නිපදවූ පසු එහි ආයුකාලය තුළදී මිනිරන් කිලෝ 70 ක් පමණ බැටරියේ ප‍්‍රයෝජනයට ගන්නවා. විදේශ රටවලින් කෘත‍්‍රිම මිනිරන් අඩංගු බැටරි මිලදී ගැනීමට වැයවන විශාල මුදලක් අපට ඉතිරිකර ගැනීමට මෙමගින් හැකිවෙනවා. එමෙන්ම නුදුරු අනාගතයේදී ජනතාවට දරගත හැකි මට්ටමකට බැටරි මිල පහත හෙළීමටත් මෙම පර්යේෂණය ඉවහල් වෙනවා.

ලෝකයේ මිලෙන් අධික ග‍්‍රැෆින් නිපදවීමටත්, මිලෙන් අඩු සෝඩියම් සහ මැග්නීසියම් බැටරි සඳහා දේශීය මිනිරන් යොදාගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට සිල්වර් ග‍්‍රැෆින් සංයුක්ත ද්‍රව්‍යයක් අප නිපදවා තිබෙනවා. ඒවායින් බැක්ටීරියා විනාශ කිරීමට හැකියාව තියෙනවා. එමෙන්ම දේශීය මිනිරන් පිරිපහදු ක‍්‍රියාවලියේදී මතුපිට පෘෂ්ටිය වැඩිදියුණු කළ, පිරිපහදු කළ, ව්‍යුහගත වෙනස්කම් කළ මිනිරන් මේවන විටත් නැනෝ තාක්‍ෂණික සහ අධි තාක්‍ෂණික නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන මිලෙන් අධික අතරමැදි නිෂ්පාදන ලෙස හඳුනාගෙන තියෙනවා. එමගින් ලංකාවට විශාල විදේශ විනිමයක් උපයාගැනීමටත් නුදුරේදීම හැකියාව ලැබේවි ’’ යැයි විජයසිංහ මහතා පැවැසීය.

උපුටා ගැනීම: ලංකාදීප.

STFඑක ප්‍රභූන් රකින්න වාහන පුරුදු වෙන විශ්මිත වීඩියෝව.

STF එක ගැන ලංකාවේ හැමෝම දන්නවනේ. පසුගිය යුධ සමයේ අපේ ආරක්ෂක හමුදා කල සේවය සහ කැපකිරීම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මෙහිදී STF එක ලොකු සේවයක් කළා. ඉතා අසීරු අවස්තාවලදී ඔවුන් මැදිහත් වුනා. ඒ වගේම රටේ ප්‍රභූන්ගේ ආරක්ෂාව වගේම විදේශ රටවලින් පැමිණෙන රාජ්‍ය නායකයන් සහ ප්‍රභූන් ගේ ආරක්ෂාවට ද මොවුන් ගේ දායකත්වය ලැබේ.
මේ ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් නිරතුරු පුහුණුවේ යෙදෙන STF බටයන්ගේ එක් පුහුණු වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරයි. පහතින් නරඹන්න එම වීඩියෝව.

පුරුෂයන්ගේ සරු ශුක්‍රානු ෆෝන් එකෙන් පරීක්ෂා කරන්නේ මෙහෙමයි.- වීඩියෝ.

ලොව පුරා වඳ යුවළ හට දරුඵල නොමැති වීමට 50%ක් බලපාන්නේ පුරුෂ වඳභාවය බවට සොයාගෙන ඇති අතර මෙම නව උපාංගය ශුක්‍රාණු සාන්ද්‍රණය සහ ඵලතාව ෆෝන් එකේ කැමරාව භාවිතයෙන් මැනීමට සමත් වෙයි.

නව අධ්‍යයනයන්ට අනුව මෙම නව ස්මාර්ට්ෆෝන් සම්බන්ධිතය හරහා (attachment) පුරුෂයකුගේ ශුක්‍රාණු ඇගැයීමකට ලක්කොට සරුභාවයේ මට්ටම 98%ක නිරවද්‍යතාවයෙන් මැනිය හැකිය.

විද්‍යාඥයන්ට අනුව මෙම නව තාක්ෂණය කාන්තාවන්ට නිවෙසේදී භාවිත කළ හැකි ගර්භණීභාවය පරීක්ෂා කළ හැකි උපාංග මෙන්ම සරල වෙයි. ලොව පුරා වෙසෙන යුවළ 15% ක් නැතහොත් මිලියන 45ක් වඳභාවයෙන් පෙළෙන බව අධ්‍යයනයන් ඇස්තමේන්තු කර තිබේ.

මෙම නව තාක්ෂණය වෙළෙඳපොළට ඉදිරිපත් වීමට තවත් වසර කිහිපයක් ගතවිය හැකි නමුදු, එය පුරුෂ වඳභාව පරීක්ෂණ පහසු ලෙසත් ලාභදායි ලෙසත් කරගැනීමට පිරිමින්ට ඉඩ සලසන්නේ, සායනකට යෑමේ අවශ්‍යතාව මඟ හරිමිනි.

ඉවත දැමිය හැකි මෙවලමකට එකතු කරගත හැක සාම්පලය. එය බැහැලිය හැකි උපාංගයට ඇතුළු කර ස්මාර්ට්ෆෝන් එකට සම්බන්ධ කිරීමෙන් මෙම පරීක්ෂණය තමාටම කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙම උපාංගය ඩොලර් 50කට අඩු මිලකට අලෙවි කළ හැකි බව පවසන නිමැවුම් විද්‍යාඥයන් අනුව මෙය පිරිමින්ට දරුඵල සම්බන්ධයෙන් මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට හෝ සායනයකට යෑමේදී ඇතිවන අපහසුතාව වළකාලීම හේතුවෙන්, විශේෂයෙන්ම (පුරුෂාධිපත්‍යය රජයන ආකල්ප නොදියුණු) දියුණුවෙන ලෝකයේ රටවල්වලට මහත් පිටිවහලක් වන බවයි.

උපුටාගැනීම:මව්බිම.

අග හිඟකම් මැද ඉපිද,ලොව ප්‍රමුඛපෙලේ ව්‍යාපාර තැනු, කීල්ස් සමාගමේ අයිතිකාරයා.

මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයකි. චරිතයකි. නායකත්වයට පූර්වාදර්ශයකි. ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකිකයෙකි. ඔහු පිළිබඳ සෙවීම, විමසීම, අධ්‍යයනය කිරීම යනු දැනුම් සම්භාරයක් ලබා ගැනීමයි. සම්මුඛ සාකච්ඡාවක් ගැනීම උගහට වුවද එය අත් නොහළේ ද එබැවිනි.
පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා.
කෙන් බාලේන්ද්‍ර නම් දැවැන්තයා ඇතුළේ තව කවුද ඉන්නෙ…
සතුටින් හිනාවෙලා ඉන්න සරල මනුෂ්‍යයෙක්. හරියි කියලා හිතෙන දේ නොබියව කරන, මහන්සිවෙලා වැඩකරන, තමන් එක්ක වැඩකරන මිනිස්සුන්ව බලා ගන්න බොහොම ආදරණීය මනුෂ්‍යයෙක්.
මොනවද අද ඔබ මේ රටට කරන්නේ…
දැවැන්ත සමාගම්, බැංකු මොන තරම් කතා කළත් මං පඩියට වැඩ කරන එක නැවැත්තුවා. දැන් මං වැඩ කරන්නෙ, වෘත්තීය පුහුණු හා නිපුණතා අමාත්‍යාංශය යටතේ කෙරෙන වැඩසටහන්වලට විතරයි. ඒ, එක සතයක් හෝ නොගෙන. වෘත්තීය පුහුණුව රටේ ආර්ථිකයට ප්‍රබලව බලපාන සාධකයක්.
ඔබේ විශේෂඥ දැනුම තිබෙන්නේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ. ඇයි වෘත්තීය පුහුණුවට යොමු වුණේ…
තෘප්තියට. අද අපේ රටේ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා මිලියනයකට වඩා තිබෙනවා. පුහුණු ශ්‍රමිකයන් නැහැ. ඉදිකිරීම්වලට පිටරටින් සේවකයො ගේන්න වෙලා. තරුණ අය ත්‍රිවිල් පදවමින් වයසට යනවා. ලංකාවට කෝ තරුණ ශ්‍රමය. තරුණ ජවය. වෘත්තීය පුහුණුවට තියෙන ඉල්ලුම ලෝකෙ අති විශාලයි. අපේ තරුණ පරපුරට මං මුලා නොවී හොඳ රැකියාවක් කරන්න සහ ආර්ථිකය හදාගන්න අත්වැලක් වෙන්නයි මං මේ වැඩේට බැස්සේ.
ඔබ දැක්මක් ඇති නායකයෙක්. (Visionary Leader). ඒ නායකත්වය ඔබේ අනුගාමිකයන්ට දුන්නෙ කොහොමද…
හොඳම උදාහරණය අද ජෝන් කීල්ස් සභාපති සුසන්ත රත්නායක මහත්මයා. නියෝජ්‍ය සභාපති, අජිත් ගුණවර්ධන මහත්මයා. හැකියාවන්ගෙන් පිරිපුන් තරුණ විධායක නිලධාරින් සමඟ ඒ කාලෙ මං ‘2020 Team’ එකක් හැදුවා. මේ දෙන්න ම ඒ ටීම් එකේ අය. නොබියව කතා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලය විවේචනය කිරීම… වගකීම… වගවීම, කණ්ඩායමෙන් බැහැර යන අය නැවත කණ්ඩායම තුළට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැනි පොදු අරමුණු ගණනාවක් මේ 2020 ටීම් එකෙන් නිරන්තර සිදුවුණා. ඒ හරහා නායකත්වය සඳහා අඛණ්ඩව අනුගාමිකයන් බිහිවුණා. ඔවුන්ගේ සිතිවිලි සෑම විටම සාමූහිකයි. ඒ වගේ ම, ආයතනික කේන්ද්‍රීයයි.
ඔබට අනුව හොඳ නායකයෙක් වෙන්නේ කොහොමද…
නායකයා යනු, විල්ලුද රෙදි කඩකින් එතූ යකඩයක්. කාරුණිකව කටයුතු කිරීම වගේ ම අවශ්‍ය තැනදි ඔහු තදට සිටිය යුතුයි. ඔහුට ප්‍රතිඵලයයි, මූලික. ආයතනික අරමුණු ඉලක්ක අබිබවා යන ආකාරයයි ඔහු නිතර සිතිය යුතු. තමන්ගෙ නිෂ්පාදන හෝ සේවාවේ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම, තමන්ගේ සමස්ත සේවක මඩුල්ල කොයි තරම් විශාල වුවත් ඔවුන් තමන්ගෙ දැක්ම තුළ රඳවා ගැනීම අතිශය වැදගත්. සේවකයන්ගෙන් බලාපොරොත්තු වන විනය ඔහු තුළත් තිබිය යුතුයි. මේ වගේ කාරණා බොහෝමයක් තිබෙනවා.
හොඳ නායකයෙක් නොකළ යුතු දේ මොනවද…
සේවකයන් හා ගනුදෙනුවේදි පාවිච්චි කරන වචන උඩින් පල්ලෙන් අතපත ගෑ වදන් නොවිය යුතුයි. හරවත් දේ හැර මුසාබස් නොකිව යුතුයි. සේවකයන් රැවටීම, හංගාගෙන කතා කිරීම, ලොකුකම ආරූඪ කර ගැනීම ඔහුට තරම් නොවන දෙයක්. කිසියම් ප්‍රධානියකුට තමන්ගෙ සේවකයන්ට හිනාවකින් හෝ සංග්‍රහ කිරීමට නොහැකි නම් ඔහු සේවකයන්ගේ හිත්වලින් ඈත් වන්න පටන් ගන්නෙ එතැනින්. ඔහු අනවශ්‍ය ලෙස සතුරන් ඇති නොකර ගත යුතුයි. වංචා නොකළ යුතුයි. කේළම් ඇසුවොත් සමහර විට ඔහු නැති කර ගන්නෙ තමන්ගේ හොඳම සේවකයා. ඒ වගේ ම අනවශ්‍ය කාන්තා ඇසුර හා ඔවුන්ගේ අතකොලු බවට පත් නොවිය යුතුයි. එසේ වුවහොත් ප්‍රධානියා විතරක් නොවෙයි, ආයතනයත් විනාශ වෙනවා.
ආයතනයක් දියුණුවෙන්න බලපාන හොඳ ම සාධකයක් කියන්න…
ටීම් එකක නායකයා, අග්‍රගණ්‍යයේ ‘ප්ලේයර්’ කෙනෙක් විය යුතුයි. වයසක අධ්‍යක්ෂවරු මත ම ‍නොයැපී තරුණ ජවය හා තරුණ අදහස් ගන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් දක්ෂයෙක් විය යුතුයි. ආයතනයකට බොස්ලා වැඩක් නැහැ. අවශ්‍ය, වැඩදන්න හොඳ නායකයො පමණයි.
මොකක්ද ඔබේ මුල් ම රස්සාව…
හපුගස්තැන්න වතු යායේ ‘ක්‍රීපර්…’. මං සෙල්ලම් කරපු රගර් මැච් බලන්න ජේම්ස් ෆින්ලේ සමාගමේ යුරෝපීය ජාතික, ජෙනරල් මැනේජර් නිතර ආවා. එයා තමයි මට ෆින්ලේස් එන්න ආරාධනා කළේ. මං අවුරුදු හතක් ගත කළේ තේ සහ රබර් එක්ක. ටයිම් කීපින්… ඉංග්ලිෂ්… ඇතුළු බොහෝ දේ ඉගෙන ගත්තෙ දියුණු කරගත්තෙ මගේ ඒ පළවෙනි රස්සාවෙන්.
මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක…
‍ජෝන් කීල්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වීම. බොස්ටොක් සහ බ්ලැක්ලර් සුදුජාතික මහත්වරුන්ට පස්සෙ සභාපති වුණේ මං. මම ඉල්ලුම් කරලා අාව එකම රස්සාව, ජෝන් කීල්ස් පමණයි. එතැනින් උඩට මං යන්නෙ පර්ෆෝමන්ස්වලින්. මට ම හදාගත්තු වටිනාකම්වලින්. ඒ වටිනාකම්වලට ලැබුණු ආරාධනා මතයි ඉතිරි සෑම දෙය ම සිද්ධ වුණේ.
වෘත්තීය ජීවිතය පුරා ම ඔබ ඉතා සතුටින් වැඩ කළ කෙනෙක්. මොකක්ද රහස…?
කාරණා දෙකක් තියෙනවා. එකක් රෝයල් එකේ ඉගෙන ගැනීම. දෙක රගර් ගැසීම. ඉතා දක්ෂ හොඳ ගුරුවරු යටතේ ඉගෙන ගත්තා. ගෙදර සහ පාසලෙන් ලැබුණු විනය අපිව හොඳ මිනිසුන් කළා. රගර් ගැසීමෙන් ලද පන්නරය දරා ගැනීම, හික්මීම සතුටින් වැඩ කරන්න හේතු වුණා. අනික තමයි, මේ වගේ හොඳ දේවල් එක්ක මං ගොඩනැඟුණු එක. මගේ ස්ටාර් එකත් හොඳ වෙන්න ඇති.
ජෝන් කීල්ස් සමාගමට ඔබ කළ හොඳ ම වෙනස කුමක් ද…
දෙයාකාරයි. එක ‘2020 Team’ එක හදපු එක. අනික ගැහැනු අයව ‘බෝඩ්’ එකට පත් කළ එක. අනුෂියා කුමාරස්වාමි… රජී ගුණවර්ධන වැනි හතර පස් දෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට ආවේ ඒ වෙනසෙන්.
ඔබට තවමත් සමාගම්වලින් ආරාධනා ලැබෙනවද…
ඔව්. විදේශීය සමාගම්වලින් පවා. මං ජෝන් කීල්ස් සමාගමෙන් අයින් වුණාට පස්සෙ ඉන්ටර්නැෂනල් කම්පැනි කිහිපයක විධායක නොවන සභාපති, අධ්‍යක්ෂතනතුරුවල හිටියා. තේරුමක් නැහැ. තීන්දු තීරණ ගන්නෙ පිටරට තිබෙන මවු සමාගම. හැබැයි ඉන්නවට අපිට හොඳට ගෙවනවා. වැඩක් නොකර නමට විතරක් පඩියක් අරන් මොකටද… මං ඒ තැන්වලින් අයින් වුණා.
හැබැයි ඔබ හිටපු බොහෝ සමාගම්වල ඔබ ස්වර්ණමය යුගයක් හැදුවා.
එහෙම කළා නම් කළේ යථාර්ථවාදි දර්ශනයක් හරහා පමණයි. ඒකට කණ්ඩායම් හැඟීමෙන් යුතු ප්‍රායෝගික මනුෂ්‍යයෙක් වීම ප්‍රමාණවත්. ඒ හරහා සියල්ල ළඟා කර ගත හැකියි. ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගත හැකියි.
කොයි තරම් ප්‍රායෝගික වුණත් සභාපතිවරයකුට පතුලට බැසිය හැකි සීමාවක් තිබෙනවා…
ඒ ගැන මං උදාහරණයක් කියන්නම්. එතකොට මං වෝකර්ස් ටුවර්ස් සමාගමේ සභාපති. නිකොමාන් සමාගමේ සංචාරකයො සියලු දෙනාව ම එව්වෙ අපිට. දවසක් මට කෝල් එකක් ආවා එයාර්පෝට් එකෙන්. ‘මෙහෙ ලොකු කලබලයක්. ඔයාලගේ සංචාරකයන්ගෙ බෑග් සංවිධානාත්මකව කට්ටියක් බලෙන් අරන් ගිහින් බස් එකට දාලා සල්ලි ගන්නවා කියලා. මං ගියා එයාර්පෝට්. ඊළඟ ෆ්ලයිට් එකේ ආපු හැම දෙනාගෙ ම බෑග් මම බස් එකට පටවන්න ගත්තා. පහුවැනිදා පත්තරේ මුල් පිටුවෙ ගියා ලොකු පින්තූරයක් ‘වෝකර්ස් සමාගමේ සභාපති, සංචාරකයන්ගේ බෑග් උස්සාගෙන යන අයුරු…’ කියලා. මේ තමයි මගේ විදිය. මගේ පෞරුෂත්වය.
කවුද ඔබට පූර්වාදර්ශ වූ ව්‍යපාර නායකයන්…
හපුගස්තැන්න වතුයායෙදි මට මුණගැහුණු මගේ පළමු බොස්, සේපාල ඉලංගකෝන් මහත්මයා. ඊළඟට ජෝන් කීල්ස් සමාගමේ මාක් බොස්ටොක් සහ ඩේවිඩ් බ්ලැක්ලර් මහත්වරු. ඔවුන්ගේ විශිෂ්ට ගුණාංග. මං මගේ ජීවිතයට ගත්තා වගේ ම මාව අනුගමනය කළ අයගෙ ජීවිතවලටත් ඒ දේවල් කා වැද්දුවා.
ඒ දේවල් ඔබේ ජීවිතයේ හැබෑවටම තිබුණ ද…
ඒ නිසා තමයි, ලංකා බැංකුවෙ, විනිමය හුවමාරු කොමිසමේ සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ විධායක නොවන සභාපතිව හිටි කාලයේ එක සතයක වැටුපක් නොගෙන වැඩ කළේ. එක වෙලාවක චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මගෙන් අහනවා, ‘කෙන් ඔයා මට හරි කරදරයක්. ඔයාට පඩි තුනක් ගෙවනවා. වාහන තුනක් තියෙනවා. සෙකට්‍රීස්ලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මුකුත් ම නොගන්න එක ප්‍රශ්නයක්…’ කියලා. මැඩම්! ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ වගේ ම, මගේ කොන්දේසිය…’ එච්චරයි. මං කිව්වෙ. රාජ්‍ය සේවයට මං, එදා වැඩ කළෙත් නොමිලේ. අද වැඩකරන්නෙත් නොමිලේ.
මොකක්ද, ඔබට ම ආවේණික Management Style එක…
ඒක, විශ්වවිද්‍යාලෙ ගිහින් ලොකු තියරිවලින් ඉගෙන ගත්තු එකක් නෙවෙයි. විශ්වවිද්‍යාලෙ නොගියට ජෝන් කීල්ස් සමාගමේදි මං විසිදාහක් විතර පාලනය කළා. මගේ ක්‍රමය තමයි, පහළ ම සිට උඩට යන කල් හැම සේවකයා එක්ක ම සමීපව වැඩ කිරීම. මගේ ළඟ පංති භේද නැහැ. ‘මහ ජාතිත්’ නැහැ.
ඔබ අනුගමනය කළ සුහදශීලී නායකත්වය හැම විට ම සාර්ථක වුණා ද…
ජෝන් කීල්ස්, සමාගමේදි වගේ ම මං විධායක නොවන සභාපති වෙලා හිටපු ලංකා බැංකුව වගේ රාජ්‍ය ආයතනවලදි පවා බෝඩ් මීටින්වලට පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා. යම් මීටිමකට කවුරු හරි පරක්කු වෙලා එනවා කියන්නෙ එතැන ඉන්න අනිත් අයගෙ විශාල මිනිස් පැය ගණනක් විනාශ කර දැමීමක්. ඒක ආයතනයකට හොඳ තත්වයක් නෙවෙයි.
බ්‍රැන්ඩික්ස් සමාගම, ඔවුන් ගේ නවීන කාර්යාල ගොඩනැඟිල්ල ඔබ වෙනුවෙන් නම් කළා නේද…
ඔව්. ජෝන් කීල්ස් සමාගමෙන් රිටයර් වුණාට පස්සෙ ඔවුන් මට ආරාධනා කළා, බ්‍රැන්ඩික්ස් සභාපති ධුරයට. අවුරුදු දහයක් මං ඔවුන් එක්ක වැඩ කළා. ඒ කාලය පුරා ආයතනය ලැබූ ප්‍රගතිය, දැක්මක් ඇති කණ්ඩායමක් බිහිකිරීම වැනි කාරණා මුල් කරගෙන තමයි ඔවුන් මේ ඇගැයීම කළේ. බ්‍රැන්ඩික්ස් හෙටත් ඉදිරියට යන්නෙ මං හදපු ඒ සමහර සංකල්ප එක්ක. ඒ ගැන මට හරි සතුටුයි.
ළමා කාලෙ ගැන ඔබට තිබෙන හොඳ ම මතකය කියන්න…
පුංචි කාලෙ අපි හිටියෙ කොල්ලුපිටියෙ 25 වැනි ලේන් එකේ පොඩි කුලී ගේක. අපේ ගෙවල් පිටිපස්සට වෙන්න, ඒ කියන්නෙ අද ලිබර්ටි ප්ලාසා එක තියෙන තැන ඔක්කොම තිබුණෙ මුඩුක්කු ගෙවල්. ළමයි ගොඩයි. අපි ඒ ළමයි එක්කත් සෙල්ලම් කළා. තාරවත් දමලා නැති ගුරුපාරක් වෙච්චි ඩුප්ලිකේෂන් පාරෙ තමයි අපි ක්‍රිකට් ගැහුවේ. බයිසිකල් පැද්දෙ. ලිබර්ටි ප්ලාසා පහුකරන හැම වෙලාවක ම ඒ ලස්සන අතීතෙ මට මතක් වෙනවා.
එතකොට ඉස්කෝලෙ ගියේ…
ඩුප්ලිකේෂන් පාරේ ඉඳන් රෝයල් එකට මිනිත්තු පහළොවක දුරක්. අපි හැමදාම ගියේ පයින්. ඉඳහිට රික්ෂෝ එකේ. අපේ ගේ ළඟ තිබුණා ‘ජෝන් ඇන්ඩ් කම්පනි’ ස්ටුඩියෝ එක. ඒකෙ අයිතිකාර මහත්තයයි එයාගෙ පුතයි ඉඳහිට අපිව කාර් එකෙත් දාගෙන ගියා.
එ‍තකොට යාපනෙත් එක්ක තිබුණු සම්බන්ධතාව මොකක්ද…
මං ඉපදුණේ යාපනේ. ඉනුවිල් ඉස්පිරිතාලේ. ආච්චි සීයා එහේ. නංගිව මල්ලිව ලැබෙන්න ඉන්නකොට අම්මා හැම වාරෙකම යාපනේ ගියා. තාත්තා නිවාඩු කාලෙට අපිවත් අරන් තාත්තගේ ‘රේල්වේ වොරන්ට්’ එකෙන් යාපනේ ගියා. ඉතින් මුළු නිවාඩු කාලෙ ම අපි ගත කරන්නේ නෑයන්ගේ ළමයි එක්ක.
ඔබ වගේ කෙනෙක් ළමා කාලෙත් අදක්ෂයෙක් වෙන්න බැහැ…
මං දක්ෂ ව‍ුණේ සෙල්ලම් කරන්න. තාත්තා වැඩට යන්න ලෑස්තිවෙලා පාන්දර හතරහමාරට අපිවත් ‘පඩි… පඩි… පඩි… (පාඩම් කරන්න… පාඩම් කරන්න) කිය කියා කූද්දනවා. මං අනිත් පැත්ත හැරිලා බුදියනවා. ඕ ලෙවල්ස්වලින් මං ක්‍රෙඩිට් පාස් පහක් ගත්තා. හැබැයි මෙඩිකල් කොලේජ් යන්න ම හිතාගෙන ලියපු යුනිවර්සිටි එන්ට්‍රන්ස් ෆේල්.
ළමයෙක් හැටියට ඔබට තිබුණු හීන සහ අරමුණු මොනවද…
අම්මා තාත්තාට ඕනෙ කළේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මං ආසා කළේ ශ්‍රී ලංකාවේ ටීම් එකට රගර් ගහන්න. ඒත් ඒක බැරිවුණා. 1957, 58, 59, 60 මුළු කාලෙ ම ඉස්කෝලෙට රගර් ගැහුවා. බ්‍රැඩ්බි කුසලානෙට ට්‍රිනිට් එකත් එක්ක සෙල්ලම් කරපු එකයි, සි‍ලෝන් බාබේරියන්ස් ටීම් එකේ සෙල්ලම් කරපු කාලෙයි තමයි මගේ හොඳ ම කාලෙ. රෝයල් එකෙන් අස් වෙන‍කොට මං රග්බි ටීම් ‍එකේ වයිස් කැප්ටන්.
ජීවිතයේ අරපිරිමැස්ම… අඩුපාඩුකම් කවදාවත් විඳලා තියෙනවද…
‘ජැෆ්නා ටැමිල්’ මිනිස්සුන්ට අරපිරිමැස්ම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක ඔවුන්ගේ ඇ‍ඟේ ම තියෙනවා. නගර සභාවේ රස්සාව කරපු තාත්තගෙ පඩිය රුපියල් හත්සිය පණහයි. ළමයි පස්දෙනෙක්. හිටියෙ කුලී ගේක. අම්මා – තාත්තා දරුවො ඇතුළු හත් දෙනෙක් ජීවත් වුණේ ඒ පඩියෙන්. සරල කෑම් බීම්, සරල ඇඳුම් පැලඳුම්…
අඩුපාඩුකම් දරා ගනිද්දිත් ඔබ එහෙම ම හිතුවද…
කවදාවත් ඒවා ලොකුවට හිතුවෙ නැහැ. එන හැටියට මුහුණ දුන්නා. දවසක් GOH එකේ ලොකු මඟුල් ගෙදරකට අපේ හිතවතකුගෙන් අයියටත් මටත් ආරාධනා ලැබුනා. ඇඳුම් තියෙන්නෙ අයියට විතරයි. මට නැහැ. ඉතින් මොකද කරන්නේ, ඉස්සරවෙලා අයියා ගියා. එයා ගිහින් ගෙදර ආවම ඒ ඇඳුමම ඇඳගෙන මාත් ගියා. අඩුපාඩුකම් ඉදිරියේ අපි ජීවිතේ සමහර දේවල් බෙදා ගත්තෙ එහෙමයි.
ඔබ වගේ කෙනෙක් ඇයි හැමදාම අනුන්ට විතරක් වැඩකළේ…
ෆින්ලේස් හැරුණුකොට ජෝන් කීල්ස්… වෝකර්ස් ටුවර්ස්… චෙව්රෝන් ලුබ්රිකන්ට්ස්, ටුබැකෝ, ඇමරිකන් ටුබැකෝ… බ්‍රැන්ඩික්ස්… මේ හැම තැනකම මං හිටියෙ ඉහළ ම තනතුරුවල. ඔවුන් මට හොඳට ගෙව්වා. මාව බලා ගත්තා. මං රටවල් තිහ හතළියකට ගියා. ගුවන් යානයක ගියත් ඒ පළවෙනි පංතියේ. මං හුඟක් කැමැති නැව් සංචාරවලට. ඇති තරමට ඒවත් ගියා. ඉතින් වෙන මොනවද… මට කවදාවත් හිතුණෙ නැහැ, මගේ ම බිස්නස් එකක් කරන්න.
කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා…
තව ම ඉන්නවා. සතියකට දෙපාරක් ගොල්ෆ් සෙල්ලම් කරන්නෙ, තුන් හතර දවසක් ජිම් යන්නෙ ඒ ක්‍රීඩකයා ම තමයි. වයස 76යි. ඒ වුණාට මට එහෙම හිතෙන් නෑ. දැනෙන්නෙත් නැහැ. මගේ වයිෆ්ට ඕනෙ දැන් මට යෝගා කරවන්නත්.
බිරිය ඔබට හුඟක් ආදරේ හැඩයි…
ඔව්. ඔව්. එයා මට මුණගැහුණෙ හපුගස්තැන්න වත්තෙ වැඩකරන කාලෙ. එයා රත්නපුර හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ කළා. එයාගෙ නම ස්වෛරී. සිංහල බෞද්ධ. මං දෙමළ හින්දු. අපි මුණ ගැහුණා. ආදරේ කළා. කෝවිලේදි පෝරුවේදි විවාහ වුණා. දරුවො ලැබුණට පස්සෙ එයා වෛද්‍ය වෘත්තිය අත්හැරියා.
ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරනවද…
මම නෙවෙයි අම්මලා හුඟක් විශ්වාස කළා. මගේ ලග්නෙ ධනු. අවුරුදු 81 දි මං මැරෙනවා කියලයි සාස්තරකාරයො කියලා තියෙන්නෙ. මං ඉතින් දැන් බලාගෙන ඉන්නවා. (හිනැහෙමින්)
තාත්තෙක් හැටියටත් ඔබ සාර්ථකයි කියලා හිතෙනවද…
ක්‍රිෂාන් බාලේන්ද්‍ර මගේ පුතා ජෝන් කීල්ස් සමූහයේ විධායක අධ්‍යක්ෂවරයෙක්. නටාෂා බාලේන්ද්‍ර මගේ දුව. ළමා රක්ෂණ අධිකාරියේ. මේ දෙන්නගේ ළමයින් පස් දෙනා තමයි දැන් මගේ යාළුවෝ. මහා තක්කඩි රැලක් (හිනැහෙමින්). මට නටන්න… සිංදු කියන්න…. දුවන්න… හැංගෙන්න, සෙල්ලම් කරන්න ඇති තරම් අවස්ථා තියෙනවා මේ පස්දෙනාගෙ කල්ලිය නිසා.
විශේෂ ස්තුතිය
මයිකල් කිත්තම්පහුව මහතාට
ඡායාරූප – විමල් කරුණාතිලක
උපුටා ගැනීම:සිළුමිණ.

ජනපති පැදවූ , ලංකාවට ගෙනා අලුත්ම පරිසර හිතකාමී මෝටර් රථය.

පරිසර හිතකාමී සුපිරි මෝටර් රථයක් ලංකාවට ගෙන්වා තිබෙනවා. එහි ශබ්දය ද ඉතා අඩු මට්ටමේ පවතින අතර, ඉන් පරිසරයට කිසිඳු දුෂනයක්ද සිදු නොවේ. මෙම මෝටර් රථය ජනපති තුමාගේ අවධානයට ලක්වුවා. ජනපති තුමා විසින් එය පදවා බැලුවා.
එම වීඩියෝව පහතින්.

ලංකාවේ කෝටිපතියෙක් ගෙනෙන්නට සැරසෙන ලොව සුපිරිම Volkner Mobil බස් එක මෙන්න.

ලොව මෙතෙක් පැවති බස් රථ නිෂ්පාදනය වෙනතකට යොමු කල ජර්මානු Volkner Mobil සමාගම නවීන පහසුකම් වලින් සපිරි බස්රථ හඳුන්වා දුන්නා. මෙම බස් රත් “ජංගම සුපිරි නිවසකට” සමානය. සියලු ආකාරයේ පහසුකම් වලින් සමන්විත මෙම රථය තුල නිදන කාමර, නාන කාමර, කෑම කාමර, සහ සුව පහසු ගෘහ උපකරණ වලින් සමන්විතය.


මෙහි ෆෙරාරි වර්ගයේ මෝටර් රථයක් නැවත්වීමට හැකි ගරාජයක්ද පවතී. මෙම බස්රථය ආඩ් 40ක දිගින් යුක්තය.
කෙසේ වෙතත් මෙහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 23ට ආසන්නය.
කෙසේ වෙතත් මේ වනවිට වාර්තා වන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් මෙම බස් රථයක් ගෙන්වීමට කටයුතු කරන බවයි.
පහතින් Volkner Mobil බස්රථයේ ඇතුලත  වීඩියෝවක් සහ පින්තුර  පහතින් නරඹන්න.

 

ට්‍රම්ප් පසුබසී. චීනය උතුරුකොරියාව ආරක්ෂා කිරීමට ඉදිරියට එයි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කොරියාවට පහර දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. තම යුධ ශක්තිය පෙන්වීමට ගුවන්යානා සහිත නවීන තාක්ෂණයෙන් අනුන යුධ නැවක්ද උතුරු කොරියා සීමාවට මේ වන විටත් පිටත් කර හැර අවසන්. උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් නතර කරන ලෙස ඇමරිකාව දැඩිව දන්වා සිටියා. නමුත් උතුරු කොරියානු නායකයා සහ රාජ්‍ය එම අනතුරු හැඟවීම සතයකට මායිම් නොකර මේ වන විටත් තම මිසයිල අත්හදා බැලීම සිදු කරගෙන යමින් පවතිනවා.
එමෙන්ම උතුරු කොරියාව ප්‍රසිද්ධියේ පවසා සිටියේ ඇමරිකානු නව ක්ෂණයකින් විනාශ කල හැකි නවීන තාක්ෂනය තමා සතු බවයි. ඉන් පසු ඇමරිකාව නවීන තාක්ෂණයෙන් යුතු සබ්මැරීන් උතුරු කොරියානු සීමාවට පිටත්කර හැරියා. ඇමරිකාවට පක්ෂපාතීව ජපානයද එක්ව සිටිනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චීනය තම දැඩි විරෝධය පළ කර ඇත. දකුණු කොරියාවේ ස්ථාපිත කරන ලද තඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරවීම ආරම්භ කළ බව ඇමෙරිකා හමුදා අඟහරුවාදා (2) පෙරවරුවේ ප්‍රකාශ කළ අතර ඉන් පැය කිහිපයකට පසු චීනය තම විරෝධය දැක්වීය.
ඇමරිකාව මහා සද්දය දාගෙන උතුරු කොරියාවට යුධ ප්‍රකාශයක් කලත්, උතුරු කොරියාව එය සතයකටවත් මායිම් නොකළේ චීනය ඔවුන් පිටුපසින් සහය දක්වන හෙයින් බව විචාරක මතයයි. ඇමරිකානු දැවැන්ත යුධ නැව දියත් කල සැනින්, ඊට වඩා විශාල සහ නවීන තාක්ෂනය සහිත නැවක් එළිදැක්වූවා.
දැඩි උණුසුම් සහගත තත්වයක් පැවතෙමින් පවතින මේ අවස්ථාවේ ඇමරිකානු ජනපති මදක් පසු බසින් සිටින හැඩක් දක්නට ලැබෙනවා. ඔහු චීන ජනපතිතුමන් වර්ණනා කරමින් කියා සිටියේ චීනය මේ ගැටලුවට සාධාරණ මැදිහත්වීමක් සිදු කරනු ඇති බවත්, චීන ජනපති තුමන් ගැන තමන් හොඳින් දන්නා බවත්, ඔහු හොඳ මනුස්සයෙකු බවත්ය.
නමුත් අද දින විශේෂ ප්‍රකාශයක් කරමින් ට්‍රම්ප් පවසා සිටියේ තමන්ට නිසි අවස්තාවක් ලැබෙන්නේනම් උතුරු කොරියා ජනපති කිම් ජෝන් උන් සමග සාකච්චාවකට සුදානම් බවයි.
නමුත් තවමත් උතුරු කොරියාව එවැනි සාකච්චාවකට කැමැත්තක් දක්වා නොමැති අතර, නොකඩවා තම මිසයිල අත්හදා බලමින් , යුධ අභ්‍යාස සහ පර්යේෂණ වැඩිකරමින් සිටී. සබ්මරීන්වල සිට මිසයිල ප්‍රහාර දියත් කරන තාක්ෂණයේ උතුරු කොරියාව නියුතු බවත් පැවසේ. එහි වීඩියෝ ද අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. පහතින් එම වීඩියෝව නරඹන්න.

Apple 6 ෆෝන් එකක් දිනා ගන්න චීන සුරුපිනිය නගරය වටේ නිරුවතින් දිව් හැටි. – වීඩියෝ

චීන තරුණියක් Apple 6s වර්ගයේ දුරකතනයක් දිනා ගැනීම සඳහා චීනයේ ප්‍රසිද්ධ නගරයක් වටා නිරුවතින් දිව ගිය පුවතක් මේ දින වල අන්තර්ජාලයෙන් වාර්තා වෙනවා. එම තරුණිය මෙසේ දිව යන කාරනාව නොදත් නගර වැසියන් විශ්මයට පත් වුනා.
අවසානයේ ඇයට හිමි ත්‍යාගය හිමි වුනා. මේ ගැන අදහස් දැක්වූ චීන සුරුපිනිය පැවසුවේ තම බෙහෙවින් සතුටට පත්වන බවයි. වැඩි දෙනෙකු මේ වීඩියෝව පිළිබඳව මත පල කර සිටියා. ඒ අතර ප්‍රභල මතයක් වුවේ මෙම දුරකථන අලෙවිය වැඩි කරගැනීමට, සමාජ අවධානය දිනා ගැනීමට මේ උපක්‍රමය දියත් කර ඇති බවටය.
එසේ සිදු කර මෙම තරුණියට විශාල මුදල් ප්‍රධානයක් කරන්න ඇති ඔවුන් අනුමාන කළා. කෙසේ වෙතත් මෙම සිදුවීම මේ වන විට ලොව වැඩි අවධානයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. පහතින් එම වීඩියෝව නරඹන්න.

‘බෝම්බ අම්මා’ ඇමෙරිකාවේ නම් ‘තාත්තා’ අපි ළඟ – රුසියාව

ප්‍රබලත්වය අතින් සියලු බෝම්බ පරයන ‘බෝම්බ අම්මා’ ඇමෙරිකාව සතු නම්, ‘බෝම්බ තාත්තා’ ඇත්තේ තමා සතුව බව ඇමෙරිකාවට අභියෝග කරමින් රුසියාව පවසා ඇත.

‘සියලු බෝම්බ පරයන බෝම්බ අම්මා’ යන නමින් ඇමෙරිකාව හඳුන්වා දී ඇත්තේ ‘ජීබීයූ43/බී’ නමැති බෝම්බයයි. ඇමෙරිකාව සතු න්‍යෂ්ටික නොවන ප්‍රබලතම බෝම්බය වන්නේ ද මෙයයි.

පසුගිය 13 වැනිදා ඇමෙරිකාව ඔවුන් සතු ප්‍රබලතම බෝම්බය ලෙස ද සැලකෙන මෙම ‘ජීබීයූ43/බී’ යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කළේය. ඒ, ඇෆ්ගනිස්තානයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ගේ තිප්පොළක් ඉලක්ක කර ගනිමිනි. එම ප්‍රහාරයෙන් ත්‍රස්තයෝ 90 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මෙම බෝම්බයට යොදා ගැනෙන්නේ ටී.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය ටොන් 11 කි. මීටර් 150 ක් හෝ 200 ක් අතර පරාසයක් මෙම බෝම්බය පිපිරී යද්දී විනාශ වෙයි. මෙම බෝම්බයක් නිපදවීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 12.8 ක මුදලක් වැයවන බව ද පැවැසෙයි.

ඇමෙරිකාව මෙම බෝම්බය යොදා ගනිමින් කළ ප්‍රහාරයක් එල්ල කළේ සිරියානු අර්බුදය සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ තෙවැනි ලෝක යුද්ධය හටගනීවි යැයි බියක් ලොව පුරා පැතිර යමින් ඇති මොහොතකය.

රුසියාව ඔවුන් සතුව ඇතැයි පවසන ‘සියලු බෝම්බ පරයන බෝම්බ තාත්තා’ යනු ‘රික්තක බෝම්බයකි’. ටී.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය ටොන් 44 ක් මෙම බෝම්බයට අන්තර්ගතය. මෙම බෝම්බය පුපුරා යද්දී, මීටර් 300 ක ප්‍රදේශයක් සැණින් දූවිලි බවට පත් වෙයි. රුසියානුවන් මෙම බෝම්බ සාර්ථකව අත්හදා බලා ඔවුන්ගේ 2007 වසරේදීය. මෙම බෝම්පය නිෂ්පාදනයට කොතරම් මුදලක් වැයවුණැයි යන්න රහසකි. ඉලක්කය ආසන්නයට පැමිණෙද්දී ගුවනේ දී මෙම බෝම්බය පිපිරෙයි.

ඩේලිමේල් ඇසුරිනි

කොළඹ ගිලා බැසීමේ අවදානමක් ! විනාශය ගැන දැනුවත් වුනාද?

කොළඹ නගරය තුළ සහ ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශවල අවිධිමත් ලෙස තට්ටු ගණනාවකින් සමන්විත දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීම හේතුවෙන් එම ප්‍රදේශවල නිවාස සහ රජයේ ගොඩනැඟිලි විනාශ වීමේ බරපතළ අනතුරක් ඇතැයි ඉදිකිරීම් ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

ඊට හේතු වී ඇත්තේ දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීමට පාදම ශක්තිමත් කිරීම සඳහා පයිල් (Pile) ගැසීමේ දී සිදු වන කම්පන තත්ත්වය බව ද අනාවරණය වේ. මේ වන විටත් කොළඹ සහ ඒ අවට සාමාන්‍ය නිවාස රැසක බිත්ති පුපුරා ගොස් තිබේ. ඇතැම් ප්‍රදේශවල නිවාස ගිලා බැසීමේ අවදානමක් මතුව ඇති බව ද දැනගන්නට ඇත. වසර ගණනාවක් තිස්සේ ඇති කරනු ලබන කම්පන තත්ත්ව හේතුවෙන් තවත් වසර කිහිපයක දී කොළඹ නගරය තැනින් තැන ගිලා බසිනු ඇති බවට ද ඉදිකිරීම් ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

මේ අතර කොළඹ 10, දෙමටගොඩ, මාලිගාකන්ද පාරේ පිහිටි ක්ලිෆ්ටන් බාලිකා විදුහල ආසන්නයේ ඉදිවන දැවැන්ත තට්ටු ගණනාවකින් සමන්විත ගොඩනැඟිල්ලේ Pile ගැසීමේ දී ඇති වූ දෙදරීම හේතුවෙන් එම විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ලක් ඇතුළු පාසල් ගොඩනැඟිලි කිහිපයක බිත්ති පුපුරා ගොස් තිබේ. එම තත්ත්වය හමුවේ පාසල පැවැත්වෙන දිනක මෙම ගොඩනැඟිලි කඩා වැටුණහොත් මීතොටමුල්ල ඛේදවාචකයට වඩා බිහිසුණු ඛේදවාචකයක් ඇති විය හැකි බව එම ගොඩනැඟිලි පරීක්ෂා කළ ඉංජිනේරුවන් අදාළ බලධාරීන්ට පෙන්වා දී ඇත. බිත්ති පුපුරා ඇති පාසල් ගොඩනැඟිලි සම්බන්ධව සහ ඒ ආසන්නයේ අවිධිමත් ලෙස ඉදිකරනු ලබන ඉදිකිරීම් සම්බන්ධයෙන් ක්ලිෆ්ටන් බාලිකාවේ විදුහල්පතිනිය නාගරික සංවර්ධන අධිකාරියට ද පැමිණිලි කර ඇත. විදුහල්පතිනියගේ පැමිණිල්ල හමුවේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැනුම් දී ඇත්තේ බාලිකාවේ ඉගෙනුම ලබන දරුවන් වහාම වෙනත් පාසලකට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසයි. අවදානම්සහගත තත්ත්වය හමුවේ අවුරුදු නිවාඩුවෙන් පසුව යළි පාසල ආරම්භ කිරීමේ ගැටලුවක් මතු වන අතර විදුහල්පතිනියගේ පැමිණිල්ල සම්බන්ධයෙන් වගකිවයුතු කිසිවකු ඉදිරිපත් වී නැත.

පෞද්ගලික සමාගම විසින් කොළඹ 07, වෝඞ් ප්ලේස්හි ඉදිකරනු ලබන දැවැන්ත ගොඩනැඟිල්ලක් හේතුවෙන් ඒ ආසන්නයේ ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා වාසය කළ නිවසේ බිත්ති පුපුරා ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ද නාගරික සංවර්ධන අධිකාරියට කරන ලද පැමිණිලිවලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. කොළඹ කලාපයේ ඉදිකරනු ලබන අවිධිමත් දැවැන්ත ගොඩනැඟිලි හේතුවෙන් කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කුරුඳුවත්ත, බොරැල්ල, කොල්ලුපිටිය, බම්බලපිටිය, කිරුළපන, වැල්ලවත්ත, නාරාහේන්පිට යන ප්‍රදේශවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවත් එම ප්‍රදේශවල සාමාන්‍ය ජනාවාස විනාශ වීමට ඉඩ ඇති බවත් ඉදිකිරීම් ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

කොළඹ කොටුව ආසන්නයේ ඉදිකරනු ලබන වරාය නගරය සඳහා මහාද්වීපික තටකයේ වැලි පර ඉවත් කිරීම ද කොළඹ නගරය ගිලා බැසීමට හේතු විය හැකි බව පෙන්වා දෙන ඉදිකිරීම් ඉංජිනේරුවෝ එම තත්ත්වයත් අවිධිමත් ලෙස දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා Pile කිරීමේ දී ඇති කරන කම්පන තත්ත්වයත් හේතුවෙන් නුදුරේදීම කොළඹට මහා විනාශයක් කැඳවනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

මේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පවසා සිටියේ 2009 වසරේ දී අනුමත කර ඇති කොළඹ කලාප සැලසුම (Zone Plan)හේතුවෙන් මෙවැනි අර්බුදයක් මතුව ඇති බවයි. මේ නිසා දැවැන්ත මහල් ගොඩනැඟිලි සඳහා මින් මතු අනුමැතිය ලබා දීමේ දී අලුතින් කලාප සැලසුමක් (Zone Plan)හඳුන්වා දීමට ආණ්ඩුව පියවර ගන්නා බව ද ඔහු කීවේය.

කොළඹ කලාපයේ දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීමේ දී Pile කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් බලපත්‍ර ලබාගත යුතු අතර එහි සඳහන් වන්නේ දහවල් කාලයට ඩෙසිබල් 75 ක සීමාවට යටත්ව එම කටයුතු සිදු කළ යුතු බවය. රාත්‍රී කාලයේ දී නම් ඩෙසිබල් 50 ක ධාරිතාවකට එම කටයුතු සිදු කළ යුතුය. බලපත්‍ර ලබාගත් ඉදිකිරීම් සමාගම් එම නිර්ණායක උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් අවදානම්සහගත තත්ත්වය මතුව තිබේ. කොළඹ 10, දෙමටගොඩ, මාලිගාකන්ද පාරේ පිහිටි ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලයේ බිත්ති පුපුරා යාමෙන් මතුව ඇති අවදානම්සහගත තත්ත්වය පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම සඳහන් කළේ අදාළ ඉදිකිරීම් සමාගම පාසල් ගොඩනැඟිලි ඉදිකිරීමට එකඟත්වය පළකර ඇති බවයි. විදුහල්පතිනියගේ පැමිණිල්ලෙන් පසුව දෙපාර්ශ්වය කැඳවා ඊට අනුමැතිය ලබාගත් බවත් ඒ සඳහා වන ගිවිසුම නාගරික සංවර්ධන අධිකාරියේ දී සිදු කිරීමට නියමිත බවත් ඔහු පැවසීය. දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීමේ දී නව ක්‍රමවේදයන්ට අනුව Pile කිරීම කළ හැකි බවත් නාගරික සංවර්ධන අධිකාරිය මින් මතු ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

දයා නෙත්තසිංහ (SathHandha)