පාසල් යා යුතු වයසේ සිටින මුත් කිසිදා පාසල් නොගිය දරුවන් 51,249 ක්.

පාසල් යායුතු වයස අවුරුදු 5-17ත් අතර දරුවන් 452,661ක් පාසල් නොයන බවත් ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නැති බවත් රජයේ පාර්ශව කිහිපයක් එක්ව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ‘‘ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය – 2016“ වාර්තාවෙන් මේ බව අනාවරණය වෙයි.

එම සමීක්ෂණය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 2016 වර්ෂයේ දී සිදුකර ඇත. එම සමීක්ෂණය සඳහා දරුවන්ගේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු, පාසල් අධ්‍යාපනය, ආර්ථික ක්‍රියාකාරකම්, සෞඛ්‍ය හා සුරක්ෂිතතාව, දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු හා විවිධ රැකියාවන්හි හා ශ්‍රම සැපයීම්වල යෙදී සිටින දරුවන්ගේ තොරතුරු ලබාගෙන ඇත.

එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ මෙරට ජනගහනයෙන් සියයට 4.6ක් හෙවත් 4,571,442 ක් වයස අවුරුදු 5-17ත් අතර වයසේ පසුවන බවයි. ඉන් පාසල් යන්නේ සියයට 90.1 ක් හෙවත් ළමුන් 4,118,741කි. සියයට 9.9 ක් හෙවත් 452,661ක් පාසල් නොයයි. ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවට අනුව ඉන් දරුවන් 51,249ක් හෙවත් සමස්ථ අදාල වයස් කාණ්ඩයෙන් සියයට 1.12 ක් කිසි දිනක පාසල් ගොස් නැත.

සමීක්ෂණ වාර්තාවට අනුව කිසි දිනක පාසල් නොගිය ළමුන්ගෙන් වැඩි පිරිසක් ග්‍රාමීයව ජීවත්වන දෙමාපියන්ගේ දරුවන්ය. එය සංඛ්‍යාත්මකව 40394 ක්. එනම් කිසිදා පාසල් නොගිය ළමුන්ගෙන් සියයට 78.82ක් ජීවත් වන්නේ ග්‍රාමීය පරිසරයේය. ඉන් 2329ක් වතු හෙවත් කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් සියයට 4.54ක් වතු ආශ්‍රිතව ජීවත්වන දෙමාපියන්ගේ දරුවන් බව ද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. නාගරිකව ජීවත්වන දරුවන් 10,885ක් කිසිදා පාසල් ගොස් නොමැති අතර එය සියයට 21.18ක් වනවා.

සමීක්ෂණ වාර්තාව අනුව කිසිදා පාසල් නොයන දරුවන්ගෙන් 44,619ක් වයස අවුරුදු 5-11ත් අතර සීමාවේ පසුවන අතර වයස අවුරුදු 12 – 14 අතර සීමාවේ පසුවන දරුවන් සංඛ්‍යාව 3395ක් වනවා. වයස අවුරුදු 15 – 17ත් අතර කිසිදා පාසල් නොගිය දරුවන් සංඛ්‍යාව 3225ක් බව ද එම වාර්තාවේ දැක්වේ. එනම් කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් සියයට 87.07ක් පසුවන්නේ වයස අවුරුදු 5-11ත් අතර. සියයට 6.63ක් වයස අවුරුදු 12 – 14ත් අතර වයස් කාණ්ඩයට ගැනෙන අතර සියයට 6.3ක් වයස අවුරුදු 15-17ත් අතර වයස් කාණ්ඩයට අයත් වන බව පැහැදිලියි.

සමීක්ෂණ වාර්තාවට අනුව වතු පේලි නිවාස ආශ්‍රිතව, නාගරික මුඩුක්කු ආශ්‍රිතව හා දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදුන් පළාත්වල දෙමාපියන් තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ උනන්දුව සාපේක්ෂව අඩු අගයක පවතින බව පෙනෙන්නට තිබේ.

එමෙන් ම පවුල් සංස්ථාව බිඳවැටීම හේතුවෙන් දරුවන් කෙරෙහි අවදානය අඩුවීම, මව විදේශගත වීම, පියා විදේශගත වීම හෝ පවුල හැරයාම, මව පියා වෙනත් විවාහයන්ට යොමු වීම, දරුවන් නිවාසගත වීම, විවිද අපරාධ හා අපචාරයන්ට දරුවන් යොමුවීම, දරිද්‍රතාව හේතුවෙන් රැකියා සඳහා යොමුවීම, දෙමාපියන්ගේ නූගත් කම, පාරිසරික සාධක ආදී බොහෝ කරුණු දරුවන් අතරමග පාසල් හැරයාම කෙරෙහි බලපාන බව ද සමාජ විශ්ලේෂකයෝ පෙන්වාදෙයි.

අධ්‍යාපනය ලැබීමට දරුවකුට ඇති අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද තහවුරු කළ මූළික අයිතිවාසිකමක් ව තිබිය දී මෙවන් විශාල දරුවන් ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් ක්‍රමයෙන් ඈත්වීම හා කිසිදා පාසල් නොගොස් සිටීම පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බව සමාජ විශ්ලේෂකන් පෙන්වාදෙයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *