ගුවන් යාන කොල්ලයක් යැයි ලෝකෙම තිගැස්සූ ලංකාවේ මාර්ක්ගේ කතාව

පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ තරුණයෙකු විසින් මැලේසියානු ගුවන් සමාගමට අයත් යානයක් තුලදී බෝම්බයක් වැනි යමක් පෙන්වමින් නියමු කුටියට ඇතුල්වන්නට තැත් කළ අතර පසුව යානය නැවත හරවා යවන්නට එහිදී නියමුවා කටයුතු කර තිබුණි. ලොව පුරා මේ පුවත ලැව් ගින්නක් සේ පැතිරුනේ තවත් මැලේසියානු ගුවන් යානයක් පැහැරගත්තේ දැයි සැකය පහල කරමින්ය.

ඒ අවස්ථාවේදී යානයේ වූ තත්වය මෙසේය…

යානය ගුවන්ගත වී ස්‌වල්ප වේලාවකට පසු තරුණයෙක්‌ තම අසුනෙන් නැගී සිට කෑ ගසන්නට විය. “මට පයිලට්‌ව මුණ ගැහෙන්න දීපල්ලා…….. නැත්නම් මම මේ ප්ලේන් එක පුපුරුවනවා.”

තරුණයාගේ අතේ වූ ලොකු කළු පාට ගුලියෙන් එළියට නිකුත්වුණ කෙටි ඇන්ටනා කැබලි කිහිපයක්‌ දිලිසුණේය. “මේක බෝම්බයක්‌…… මට පයිලට්‌ ඉන්න කොක්‌පිට්‌ එකට (නියමු කුටියට) යන්න නොදුන්නොත් මම ප්ලේන් එක පුපුරවනවා…….”

මේ තරුණයා නම මාක්ස්ය. ශ්‍රී ලංකාවේ සිට ඔස්‌ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය විසාවකින් (Student Visa) එරට නැවතී සිට පාර්ට්‌ ටයිම් රැකියාවක්‌ කරමින් සිටි මාක්‌ස්‌ 25 හැවිරිදි දෙමළ ජාතිකයෙකි. දන්නා හඳුනන හැමෝම ඔහු ඇමතුවේ ‘මාක්‌ස්‌’ ලෙස ය. මාක්‌ස්‌ගේ තර්ජනයත් සමඟම ගුවන් මඟීහු ස්‌වල්ප වේලාවක්‌ භීතියෙන් ත්‍රස්‌ත වී සිටියහ. ඔවුන් වැඩි දෙනාට සිහිපත් වූයේ මෙයට කලකට පෙර අතුරුදන් වූ මැලේසියන් ගුවන් යානයයි. මෙයට වසර තුනකට පෙර (2014 මාර්තු 8 වැනිදා) මැලේසියන් ගුවන් සේවයට අයත් MH370 දරණ එම යානය මගීන් 239 ක්‌ ද රැගෙන චීනයේ බෙයිජිං නගරය බලා ගුවන් ගත විය. මේ යානය ඉන්පසු ඇසට නොදක්‌නාලදී. අදටත් එහි සුන්බුන් කැබැල්ලක්‌ පවා නොමැත. නවීන යුද උපක්‍රම සහිත පරිගණක වැඩසටහන් කිහිපයක්‌

රැගත් විශේෂ මඟීන් කිහිපදෙනකු මෙහි ගමන් කළ බවත් එක්‌තරා බලගතු රටකට අයත් ඔත්තු සේවයක්‌ මේ යානය පැහැර ගෙන ආසියාවේ ජන ශූන්‍ය දූපතකට ගෙන ගොස්‌ මඟීන් සියලු දෙනා මරා පරිගණක වැඩසටහන් සමූහය අත්පත් කරගෙන යානය විනාශ කළ බවත් කියනු ලැබේ. මේ යානය අතුරුදන් වීම පිළිබඳ තවත් මතයක්‌ ඇත. එනම්, යානය මුහුදට කඩා වැටුණු බවය. එසේ නම් යානයේ සුන්බුන් කැබැල්ලක්‌ හෝ මුහුදේ පාවිය යුතුය. එහෙත් එබන්දක්‌ සිදු වූයේ නැත.

ශ්‍රී ලාංකික තරුණයකු වූ මාක්‌ස්‌ විසින් පැහැර ගත් යානයේ සිටි මඟීන්ට ඒ ඇසිල්ලේදී මෙවැනි කාරණා මතකය හරහා ඇදී යන විදුලිසර මෙන් දැල්වෙන්නට ඇත. “අනේ කරුණාකරලා සීට්‌ එකට යන්න…….” කාන්තාවන් ගැහෙන හඬින් මාක්‌ස්‌ට කීවාය “කට වහපන්……” ඔහු ගිගිරුවේය. “මම උඹලවත් මරාගෙන මැරෙනවා…..” ඔහු ‘බෝම්බය’ ඔසවමින් කීවේය.

ඔස්‌ට්‍රේලියන් පාපන්දු ලීගයේ ක්‍රීඩකයකුව සිටි ඇන්ඩෲ ලියොන්සෙලි ද මේ යානයේ සිටියේය. හොඳ උස මහත දේහධාරී මිනිසකු වූ ඔහු, මේ වන විට අසුනින් නැගිට යානයේ නියමු කුටිය වෙත ගමන් කරමින් සිටි මාක්‌ස්‌ වෙත ගියේය. ‘පිස්‌සෙක්‌ වෙන්නෙ නැතිව උඹේ සීට්‌ එකට පලයන් මිනිහෝ” ඔහු මාක්‌ස්‌aට කීවේය. ඒ අතර යානය තුළ සිදුවන කලබලය ගැන දැනගත් නියමුවෝ යානය ආපසු හරවාගෙන මෙල්බන් ගුවන් තොටුපළ වෙත රැගෙන ආහ.

මේ කරුණු මෙසේ සිදු වෙද්දී යානය තුළ හැඟීම් බර දේ බොහෝ සිදුවිය. සමහරු මරණ බියේ හඬන්නට පටන් ගත්හ. තව සමහරු තම පෙම්වතාට, පෙම්වතියට, මවට හෝ පියාට SMS පණිවුඩ යවමින් ජීවිතයේ අවසාන මොහොත එළැඹී ඇති බවත් මරණය තමන් ඉදිරිපිට දර්ශනය වන බවත් කීහ.

මේ වන විට යානය වටා පොලිස්‌ මුරකාවල් යොදා තිබිණි. ක්‍ෂණික විහිදුම් සෙබළු පිරිසක්‌ නවත්වා තිබූ යානය යටට වී එයට ඇතුළු විය හැකි තැනක්‌ ගැන පරීක්‍ෂාවෙන් පසුවූහ. මෙයට සමගාමීව ගුවන් කොල්ලකරුට ආසන්නයේ යානය තුළ වූ හැඩි දැඩි පිරිමි මගීන් සිවුදෙනක්‌ ඇස්‌වලින් කතා කරගනිමින් කිසියම් අදහස්‌ හුවමාරුවක නිරත වූහ. තවත් මොහොතක්‌ ගත වූ පසු මේ සිවුදෙනාම එක්‌වර ගොස්‌ මාක්‌ස්‌ බදාගෙන ඔහු බිම දමා ගත්හ.

ඒ සමඟම පොලිසිය යානය තුළට ඇතුළු විය. මාක්‌ස්‌ මෙල්ල කරගත් මඟී පිරිස ඔහු බිම දමා ඔහුගේ හිස පොළව දෙසට හැරවෙන පරිදි තද කරගෙන සිටියහ. ඊළඟ මොහොතේදී ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අතර තම අත තිබූ බෝම්බය පුපුරුවන බවට මාක්‌ස්‌a තර්ජනය කළ ද එය පිපිරවීමට හැකි වූයේ නැත. මන්ද යත් එය ව්‍යාජ බෝම්බයකි. එහි නිර්මිතය ප්ලාස්‌ටික්‌ කැබලි සහ ටින් කැබලි කිහිපයක්‌ පමණි.

දැන් මේ තරුණයා ගැන සොයා බලමු. ඔහුගේ සම්පූර්ණ නම මනෝද් එම්. මාර්ක්‌ස්‌ ය. ඔහු ඕස්ට්‍රේලියාවට එන්නේ මොනරාගල සිටය. ඔහු ගුවන් යානය පැහැර ගැනීමට දින කිහිපයකට පෙර මානසික රෝගයක්‌ සඳහා ප්‍රතිකාර ලබා තිබිණි. කිසිදු අරමුණක්‌ නැතිව ජීවත් වූ ඔහු ගංජා සුරුට්‌ටුවලට ප්‍රිය කළේය. ගුවන් යානය පැහැර ගැනීමට ඔහු වරදකරු වුවහොත් අවුරුදු 10 ක්‌ හිරේ ලගින්නට සිදු වන්නේය. ඔහු මානසික රෝගියකු බව ඔප්පු වුවහොත් අධි ආරක්‍ෂිත මානසික රෝහලක අවුරුදු දෙකක්‌වත් ගත කරන්නට සිදුවන්නේය.

මනෝද් මාක්‌ස්‌ගේ Facebook ගිණුමෙහි සිත්ගන්නා සුළු Post කිහිපයක්‌ දමා තිබේ. “අසාධාරණය ඇති තැන එයට එරෙහිව හඬ නඟන්න…..” ලෙසිනුයි. එසේ පළ කළ ඔහු අද සිරිබත් කමින් සිටියි.

තොරතුරු – දිවයින පුවත්පත ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *