ලොව වටා බයික් එකකින් ගොස් ලංකාවේ කොල්ලෙක් වාර්තාවක් තියයි.

ශ්‍රී ලංකාව ලෝකයේ ‘තිත’ක් බඳු කුඩා දූපතක් වුවත් ඇතැම් අවස්ථාවල ලාංකිකයන් පෙන්නුම් කරන වැඩ-කිඩ නම් කුඩා නොවන වග ඉතිහාසය හාරා ඇවිස්සීමේ සිට වර්තමානය දක්වාම මනාව පිළිබිඹු වේ. එවන් වික්‍රමාන්විත රජ වැඩක් කරමින් ලාංකිකයන් පමණක් නොව ලෝකවාසීන්ද මවිත කළ ලක් පුතකු පිළිබඳ කතාවකි මේ. රටවල් අසූවකට වැඩි ප්‍රමාණයක් හරහා යතුරු පැදියකින් ගිය ඔහු ඩිලන් සමරවික්‍රමය. ඩිලන් මෙසේ යතුරු පැදියෙන් කරක් ගැසූ රටවල් බොහොමයක් කෙනකු ලේසියෙන් නොයන එසේම කෙනකුට ලේසියෙන් යෑමට ද නොහැකි රටවල් වීම ‍විශේෂයකි. එවන් රටවලදී ඔහු ලද අත්දැකීම් ද අපූරුය.
යතුරු පැදියකින් දිගු ගමනක් යෑමක් පිළිබඳ අප අසා තිබුණේ 1952 වසරේදී අර්නස්ටෝ චේ ගුවේරා කිලෝ මීටර් 8000ක් පුරා දකුණු ඇමෙරිකාව හරහා ගිය ගමනය. මේ මහා විප්ලවවාදියා විසින්ම රචිත ‘The Motor Cycle Diaries ‘නමැති ග්‍රන්ථයේ ඔහුගේ ගමන් අත්දැකීම් අපූරුවට සඳහන් වේ. අපේ ඩිලන් යතුරු පැදියෙන් ගියේ ලොව වටා ගමනකි. එය හිතන්න පුළුවන් කතා පුවතක් ද? එහෙත් ඩිලන් එම පුවත යථාර්ථයක් බවට පත් කළ අප්‍රතිහත ධෛර්යයකින් යුත් මිනිසෙකි. ඔහුගේ කතාව අපූරුය.
ඩිලන් හැබෑම ශ්‍රී ලාංකිකයකු වුවත් ඔහු කාලයක සිට ජීවිකාව ගෙවනුයේ ස්විට්සර්ලන්තයේ සුන්දරත්වයෙන් අනූන එනෙන්ඩා ප්‍රදේශයේය. ඩිලන්ගේ වික්‍රමාන්විත ගමන ගැන කන වැකුණු මාහට අන්තර්ජාලය ඔස්සේ ඩිලන් හා සංලාප වීමට හැකියාවක් ලැබිණි. ඒ ගමන්වලදී ඔහු ලද අත්දැකීම් අපූරුය. වික්‍රමාන්විතය. විවීධය.
ඩිලන් පවසන පරිදි අතිදුෂ්කර වූත් සුන්දරවූත් ඒ ගමන ගැන සඳහන් කිරීමට පෙර ඔහුගේ ගමනට ප්‍රස්තුත වූ කරුණු කීපයක් ඔහු පුන පුනා පැවසීය.
“මං පොඩි කාලේ සිටම වික්‍රමාන්විත ක්‍රියා ප්‍රිය කරන්නෙක්. ළමා කාලේදීම මගේ සිතේ රසවත් හැඟීමක් ඇති කළ පොතක් වුණේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගේ මඩොල් දූව. එ් සිතිවිලිත් සමඟ පොඩි කාලෙ ඉඳලා මගේ සිහිනයක් තිබුණා ලෝ වටා සංචාරයක් කරමින් ලෝකයේ ලස්සන වගේම විවිධ ජන කොට්ඨාසයන්හි සංස්කෘතීන් ගැන අධ්‍යයනය කරමින් එම ජීවිතවල සුන්දරත්වය සේම කටුකත්වය දැකගැනීමට. ඒ වගේම ඒක මට ඕන විදිහට විඳින්නයි මගේ අරමුණ වුණේ. එහෙම නැතිව කෙනෙක්ගේ මඟ පෙන්වීමකින් පොත-පත පරිශීලනය කරමින් යන ගමනක් මට අවශ්‍ය වුණේ නෑ. එසේම මෙවැනි ගමනක් ගිහිල්ලා ලෝක වාර්තාවක් තියන්ටවත්, ඉතිහාසගත වීරයකු වෙන්ටවත් මට ඕනැ වෙලා තිබුණේ නෑ. මගේ එකම පැතුම වුණේ දේශ ගවේෂකයෙක් වගේ ලෝකය දකින්න. එදා මෙගලන්, කොළොම්බස්, මාකෝ පොලෝ වැන්නන් කළා වගේ මේ ලෝකය දකින්නයි මගේ ඒකායන බලාපොරොත්තුව වුණේ.”
ඩිලන්ගේ රජ ගමනේ අරමුණ කුමක් වුවත් ඔහු කළ වික්‍රමය නම් ඓතිහාසිකය.
“මගේ පොඩි කාලේ සිහිනෙත් එක්ක මීට අවුරුදු 7කට පමණ පෙර 2010 වර්ෂයේ දවසක මං තීරණයක් ගත්තා ලෝකේ වටේ රවුමක් යන්න. ඒකට තෝරගත්තෙ මම ‘බෲස්’ කියන අන්වර්ථ සුරතල් නාමයෙන් හඳුන්වන මගේ මෝටර් සයිකලය. තව කතාවක් තමයි මට කුඩා කාලේ ඉඳලම මෝටර් බයිසිකල් උණකුත් තිබුණා. මගේ ලොකුම විනෝදාංශය තමයි මෝටර් සයිකල් පැදීම. මුලින්ම බයික් එකක් ගත්තෙ අවුරුදු 16දී. එදා පටන් මගේ ආශාව බයිසිකලෙන් ලෝකෙ කොහේ හරි කරක් ගැසීම. මෙහෙමයි ලෝකෙ වටේ යනවා කිව්වම සමහරු එක් එක් විදිහට අර්ථ දක්වනවා. මම කළේ මේ ලෝකය ගෝලාකාරයිනේ. මට අවශ්‍ය වුණේ මෝටර් සයිකලෙන් ගෝලාකාර ලෝකෙ වටේ අංශක 360ක රවුමක් ගිහින් නැවතත් එනෙන්ඩාවල මගේ ගෙදරට එන්න. එහෙම නැතිව ලෝකයේ සෑම රටක් හරහාම ගමන් කිරීමට මට අවශ්‍ය වුණේ නෑ. ඉතින් මම, මගේ ලෝ වටා රවුම අවුරුදු 3 1/2ක් තිස්සෙ එකදිගට රටවල් 80කට වැඩි ප්‍රමාණයකින් ගියා. ඒත් මගේ ගමනට අවශ්‍ය මුදල් ඉවර වුණ හින්දා දකුණු ඇමෙරිකාවේ අර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නගරයෙන් ගමන නතර කරන්න වුණා. මගේ අරමුණ වෙලා තිබුණේ බුවනෝර්ස් අයර්ස්වලින් මෝටර් සයිකලය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්වලට නැව්ගත කරලා මාත් ගුවනින් ගොස් එතැන් සිට බටහිර අප්‍රිකාව දෙසින් ගමන් කොට යුරෝපයට ඇතුළුවී ගෙදර යෑමයි.”
අපේ ශ්‍රී ලාංකේය පුත්‍රයාගේ තරම කෙතරම්ද වග දැන් ඔබට වැටහෙනවා ඇත. එසේනම් මේ ඩිලන් කවුද? 1970 දී ගම්පොළදී මෙලොව එළිය දුටු ඩිලන් තම පියාගේ ව්‍යාපාරික කටයුතු නිසා වත්තලට සේන්දු වී ඇත. වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ හෙතෙම වයස අවුරුදු 16දී පමණ ඉගෙනීම් කටයුතු සඳහා එංගලන්තයට පිටත්ව ගොස් ඇත.
“අපේ තාත්තා පංචිකාවත්තේ ට්‍රැක්ටර් අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. ඒත් අවාසනාවන්ත ලෙස තාත්තා සොර කල්ලියක් විසින් දුම්රියේදී ඝාතනය කරනවා. තාත්තගේ මරණය අපේ පවුලේ ඉරණම් ගමන එහෙම්පිටින්ම වෙනස් කළා. මගේ තාත්තා වෙර වීර්යයෙන් දියුණුවට පත්වෙමින් සිටි කාලයකයි මුදල් පසුම්බියක් වෙනුවෙන් ජීවිතය පුද කළේ. එතකොට මට වයස අවුරුදු 6යි. තාත්තා අප දාලා ගියාට පස්සෙ අපේ පවුල අන්ත අසරණ වුණා. අපි විඳි සැප සියල්ල අහිමි වෙනවා. ඊට මූලිකම හේතුව වුණේ තාත්තා කළේ හවුල් ව්‍යාපාරයක්. ඒ හවුල්කාර දෙන්නා සතපහක දෙයක් අපේ අම්මට දුන්නෙ නෑ. අම්මත් තාත්තගේ ව්‍යාපාර කටයුතු ගැන එතරම් අවධානයකින් ඉඳලා නෑ. මේක නොහිතපු මොහොතක සිදුවුණ දෙයක්නේ. ඇය කළේ මගෙත්, මල්ලිලා තුන්දෙනාගේත් වැඩ කටයුතු කරගෙන ගේ-දොර බලාකියාගෙන සිටීම. පස්සෙ අපි මහ පාරට වැටෙන තරමට අන්ත අසරණ වුණා. මගේ අම්මා‍ බ්‍රිජට් හපුආරච්චි. ඇගේ උත්සාහයෙනුයි පසුව අපි මේ තත්ත්වයට ආවේ” යැයි පවසන ඩිලන් තම බාල සොහොයුරන් තිදෙනා වන තුෂාර, ජයන්ත සහ රොෂාන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉතාම හොඳින් ජීවත්වන බව කීවේය.
එංගලන්තයේ ඉගෙනීම් කටයුතු අවසන් වූ පසුව ස්විට්සර්ලන්තයට සංක්‍රමණය වූ ඩිලන් ඉඩ ලද සෑම විටෙකදීම මෙරටට පය තබන බවද පැවැසීය. යුරෝපයට විත් වසර 30ක ඇවෑමෙන් තමාගේ ළමා අවදියේ ජීවන චර්යාවන් සේම සිතුම් පැතුම්හි එක් දෙයක් හැර සියල්ල උඩු-යටිකුරු වූ බව පවසන ඩිලන් ලෝක සංචාරයෙන් පසුව එම පැතුමත් ඉටුවූ බව පවසන්නේ නිහතමානීවය.
“මේ ලෝක සවාරියට කලින් මම විවිධ රට-රටවල සවාරි ඕනෑතරම් ගිහින් තියෙනවා. මං ස්විට්සර්ලන්තයේ සියලු සැපසම්පත් සහිත ඉතාම හොඳ ජීවන තත්ත්වයක් ගෙවන්නෙ. ඒ වගේම මේ ගමන යෑමට පෙර ඉහළ ආදායම් උපයන ව්‍යාපාරයක් මට තිබුණේ. ඒත් ඒ සියලු දේවලට වඩා මගේ සිතේ හැමදාම කොනක පැලපදියම් වෙලා තිබුණා මෙවැනි ලොව වටා ගමනක් යෑම ගැන. දැන් මං ඒ පැතුමත් ඉටුකරගෙන අවසන්.”
අවසන් වතාවට 2016දී මෙරටට පැමිණි ඩිලන් වර්තමානයේ ලේඛකයෙකු, පෞරුෂ වර්ධන දේශකයෙක් සේම චිත්‍රපට කර්මාන්තයේ ද නිරතව වැඩ කටයුතු කරමින් සිටී. මේ වන විට ලෝක සවාරිය අලළා වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටින 46 හැවිරිදි ඩිලන් පසුගිය දිනවල මා සමඟ කතාබස් කරන විට එම චිත්‍රපට කටයුතු වෙනුවෙන් පැනමා රාජ්‍යයේ මහා ගන වනාන්තරයකට ඇතුළුවීමට සූදානමින් සිටියේය.
ඔහු ලෝක සංචාරය කළ බීඑම්ඩබ්ලිව් වර්ගයට අයත් මෝටර් සයිකලය රෝද දෙකේ සාමාන්‍ය සයිකලයක් වුවත් එය ඩිලන්ගේ වික්‍රමාන්විත ගමනේදී එක්තරා ආකාරයක රෝද හතරේ වාහනයකට සමාන බඩු කන්දරාවක් රැගෙන ගිය බවක් ඡායාරූප පිරික්සන විට පෙනිණි.
“මුලින් කිව්ව වගේ මට මේ ගමනට කිසිම සැලැස්මක් තිබුණේ නෑ. මඟ පෙන්වන්නන් මෙන්ම මඟ පෙන්වන පොත්පත් මුකුත්ම නෑ. මම කළේ මට හමුවන මිනිස්සුන්ගෙන් නව වටපිටාව හඳුනගෙන ඒ ඔස්සේ ගමන් කිරීමයි. මගේ ළඟ තිබුණේ පුංචි ජීපීඑස් උපකරණයක් පමණයි. එය මං අතරමං වූ තැන්වලදී මාලිමාවක් වගේ ක්‍රියා කළා. ඇත්තෙන්ම මගේ මේ ගමනේදී අතරමං වීමක් කියලා දෙයක් නැහැ. එහෙම වූ අවස්ථාවලුත් මං දැක්කෙ නව ඉසව්වක් දැකගැනීමක් ලෙසයි. මං මේ ගමනේදී වැඩිපුරම ගියේ දියකඩිති, ගල්-ගොඩැලි සහිත ගුරු පාරවල්වල. අධිවේගී මාර්ග, කාපට් ඇතුරු මාර්ගවල යන්නම ඕන අවස්ථාවලයි ගියේ. කොටින්ම රටකට ඇතුළු වුණාම අප්‍රකට, සංචාරකයන් වැඩිපුර නොයන තැන් දකින්නයි වැඩිපුරම ගියේ.”
තමා සතුව තිබූ කුඩා ව්‍යාපාරය විකුණා දමා ලෝ වටා සංචාරය කිරීම සඳහා මුදල් සොයා ගත් ඩිලන් එම සුළු මුදල් ප්‍රමාණය පරෙස්සමින් විය-හියදම් කරමින් ‘බෲස්’ සයිකලයෙන් ලෝකයේ රටවල් 80කට වැඩි ප්‍රමාණයක රිංගමින් කිලෝමීටර් දෙලක්ෂ දසදහසකට වැඩි ප්‍රමාණයක සැරිසරා ඇත. ඒ අතරට තමන්ම නිර්මාණය කරගත් පහුරක් ආධාරයෙන් කිලෝමීටර් 720කට වැඩි දුරක් ගිය ත්‍රාසජනක ගමනක්ද වේ. “මේ කිලෝමීටර් 720 දුර තමයි මේ ගමනේදී මං මූණ දුන්න ත්‍රාසජනකම අත්දැකීම්වලට මුහුණ දුන්නේ. දකුණු ඇමෙරිකාවයි, උතුරු ඇමෙරිකාවයි අතරෙ තිබෙන මධ්‍යම ඇමෙරිකා රටක් වන පැනමාවේ සිට කොලොම්බියාවට ගොඩබිම් මාර්ගයක් නෑ. ඒ නිසා තමයි මට මේ අත්දැකීමට මූණ දෙන්න වුණේ. එතැනදී වෙන්නෙ බෝට්ටුවකින් හෝ ගුවන් යානයකින් ගමන් කිරීමක්. බෝට්ටුවක් කුලියට ගෙන මගේ බෲස්වත් පටවගෙන යන්න තරම් වත්කමක් මට තිබුණේ නෑ. ඒ නිසා මම කළේ මා විසින්ම තනාගත් පහුරක් ආධාරයෙන් පැසිෆික් සාගරය තරණය කරමින් කොලොම්බියාවට යෑම. ඒ වගේමයි මං මෙතෙන්දී පොඩි දෙයක් හිතුවා මොකද මේ සංචාරය සුන්දර වෙන්නෙ ත්‍රාසජනක අත්දැකීමක් ලබමින් ගියොත් කියන එක මගෙ ඔළුවෙ සෑම විටම වැඩ කළා. ඒකයි මං වැඩිපුරම පහුරු ගමන ගියේ.
පෘථිවි ගෝලයේ පිහිටා තිබෙන මහද්වීප හතෙන් මිනිස් වාසය සතු මහද්වීප පහ තුළින්ම ගමන් කළ ඩිලන් මහද්වීපයෙන් මහද්වීපයකට සේම රටකින් රටකට ගිය අයුරු අප හා විස්තර ක‍ෙළේය.
“සාමාන්‍යයෙන් කලින්ම වීසා ඕන කරන රටවලුත් තියෙනවා. ඒ වගේම සමහර රටවල් තියෙනවා දේශසීමාව මායිමේ තිබෙන කාර්යාලවලින් ගමන් බලපත්‍රයේ එරට මුද්‍රාව සටහන් කරගෙන ඇතුළු වෙන්න පුළුවන් රටවලුත්. එහෙම රටවල් තමයි ඇමෙරිකා මහද්වීප දෙක තුළදී බොහෝ විට හමු වුණේ. ඒ තැන්වලදී දේශසීමා කාර්යාලවලදී බලන්නෙ තම රටට ඇතුළුවීමට පෙර එම පුද්ගලයා සිටි රටෙන් නීත්‍යනුකූලව පිටවීමේ මුද්‍රාව සටහන් කර තිබෙනවාදැයි කියා පමණයි. ඒත් කලින්ම වීසා බලපත්‍ර හදා ගත යුතු රටවල් වන ඉතියෝපියාව, සුඩානය, ඉන්දියාව, පාකිස්තානය, ඉරානය ආදි රටවල්වලදී මං කළේ කලින්ම ගමන් බලපත්‍ර හදා ගත්තා.” අවස්ථා කීපයකදී බෲස්ව නැව්ගතකොට තමාද ගුවන් යානයෙන් අදාළ රටට ගිය බව පවසන ඩිලන් ලෝක සවාරියේදී තිබෙන අත්දැකීම්නම් මේ කියන තරම් රසවත් නොමැති බව පැවසුවේ සුසුමක් හෙළමිනි.
“මං හැම තිස්සෙම අඩු වියදමකිනුයි මේ ගමන යන්න උත්සාහ කළේ. මොකද මට එතරම් මුදලක් තිබුණේ නෑ වියදම් කරන්න. ඒ වගේම මෙවන් වික්‍රමයන් තුළදී සැප සම්පත් මානම් කිසි විටෙක බලාපොරොත්තු වුණේ නෑ. මගේ ගමනට බොහොම සරල බඩු-භාණ්ඩ කීපයයි තිබුණේ. මොනවා හරි කෑමට-බීමට රත්කර ගැනීමට පෙට්‍රල් උඳුනයි, කොහේ හරි පරේ අයිනක නිදා ගැනීමට කූඩාරමක්, පුංචි ජීපීඑස් මෙවලමක්. ඊට අමතරව ඇඳුම් කීපයකුයි පමණයි. මට මතකයි මං සමහර ඇඳුම් මාස ගණන් එක දිගට ඇඳන් හිටියා. මට මේ ගමනට ලොකුම උපකාරය කළේ මගේ බෲස්.“ එසේම මෝටර් සයිකල් අමතර ටයරයක් සහ පෙට්‍රල් කෑන් එකක් එහෙමත් රැගෙන යෑමට ඩිලන් වග බලාගෙන ඇත.
මෝටර් සයිකල් පිළිබඳ ඉතාම හොඳ කාර්මික ඥානයකින්ද හෙබි ඩිලන්ගේ ගමනේදී බෲස්ට වන අකරතැබ්බිවලදී ඒ සඳහා අවැසි ආයුධ කීපයක්ද ඩිලන් රැගෙන ගොස් ඇත. සියලු අඩුම-කුඩුම පටවාගත් ඇලුමිනියම් පෙට්ටි තුනක් බෲස්හි අටවාගෙන තම සිතේ කාලයක සිට කැකෑරුණු ලොව වටා ගමන ගිය ඩිලන් එහි රසබර සේම ත්‍රාසජනක අත්දැකීම් ගොන්න මුල්ම වතාවට මෙරට පුවත්පතක් වන සිළුමිණ සමඟ බෙදාහදා ගැනීමට ඉදිරිපත් වූයේ කිසිදු පැකිළීමකින් තොරවය.

උපුටාගැනීම: සිළුමිණ.