පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන පිළිමය විකුණයි…

‘වෙසක් පුන් පොහෝ දින උදෑසන බොදුනුවන් මෙන්ම ශ්‍රී ලංකාවේ පෞරාණික උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන්නන්ද තිගැස්සෙන පුවතක් පොළොන්නරුවෙන් වාර්තා විය. බොහෝ දෙනා විමතියට පත් කළ එම ප්‍රවෘත්තිය වූයේ පොළොන්නරුව පූජා භූමියේ ලෝක ප්‍රසිද්ධ ගල් විහාරයේ ඓතිහාසික සැතපෙන පිළිමය පොරෝනයකින් වසා ඇති බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකවරණය හා ආරක්ෂාව යටතේ පවතින මෙරට අග්‍රගණ්‍ය පෞරාණික ස්මාරකයක් මෙලෙස පරිහරණය කරන්නට බලයක් ඇත්තේ කාටදැයි විමසා බලන කල බොහෝ කරුණු හෙළිකර ගත හැකි විය.


පොළොන්නරුව ගල් විහාරයේ අණසක පතුරුවාගෙන සිටින එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදු පිළිමයට සිවුරු අන්දවා මුදල් උපයන ජාවාරමක් කලක සිටම රහසේ කරගෙන ගොස් ඇති බව දැනගන්නට හැකිවිය. බුද්ධ ප්‍රතිමා රාත්‍රි කාලයේ සීතලෙන් සිටින බව අවබෝධ වූ සම්‍යක් දෘෂ්ටිය උන්වහන්සේට අහම්බෙන් පහළ වූවා යැයි සිතිය නොහැකිය. දැනගන්නට තිබෙන පරිදි පන්සලේ තිබෙන මෙම පොරෝනය ගල් විහාරයේ සැතපෙන පිළිමයට වරක් පෙරවීමට රුපියල් දහස් ගණනක් අය කරන අතර මෙය ජාවාරමක් බවට පත් කරගෙන තිබෙන බව පැහැදිලිය.

මෙම අමනෝඥ සිදුවීම නිසා පොළොන්නරුව ඓතිහාසික පුද බිමට පැමිණෙන දහස් සංඛ්‍යාත දෙස් – විදෙස් සංචාරකයෝ අපහසුවට පත්ව සිටිති. වහාම එම පොරෝනය ඉවත් කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ අංශවලට උපදෙස් දුන් බව වාර්තා වූ නමුත් මේ දක්වා එය ඉවත් කර නැති බවත් ස්ථාන භාර පුරාවිද්‍යා නිලධාරීන් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරන ලද නමුත් මේ ලියන මොහොත වන විටත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වී නැති බවත් දැනගන්නට හැකි විය.
බුදු දහම වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් ශ්‍රී ලංකාවේ පෞරාණික උරුමයට බරපතළ හානි පැමිණ වූ අවස්ථා පසුගිය කාලයේ වරින් වර අසන්නට දකින්නට ලැබිණි. එක් අවස්ථාවක රුවන්වැලි සෑයේ සලපතළ මළුවේ පිහිටුවා ඇති අනුරාධපුර යුගයට අයත් විහාරමහා දේවි ප්‍රතිමාවට ජනාධිපති ආර්යාවක විසින් ඉන්දියන් සාරියක් අන්දවා තිබිණි. අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරියෙන් පුරාවිද්‍යා මූලධර්මයන්ට සහමුලින්ම පටහැනි අයුරින් කොන්ක්‍රීට් මල් ආසනයක් ඉදිකරන ලද්දේ නොබෝදාය. මේ උත්සාහ කරන්නේ මෙරට ආක්‍රමණය කළ කාලිංගමාඝලාට කරන්නට නොහැකි වූ විනාශය වෙනත් ආකාරයකින් කරන්නටය.
ශ්‍රී ලංකාව සතුව වසර දහස් ගණනක් පරිණාමය වූ ප්‍රතිමා නිර්මාණ කලාවක් තිබේ. අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම පොළොන්නරු ගල් විහාර ප්‍රතිමාවන්ද ඊට ඇති ඉහළම සාක්ෂි වේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 455-473) විසින් කරවන ලද අවුකන බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර යුගයේ නිර්මාණය වූ බුද්ධ ප්‍රතිමා අතර සුවිශේෂීි ස්ථානයක් හිමි කරගනී. අමරාවතී ශෛලියට අනුව සිවුර රැලි ගන්වමින් ඍජු කයකින් හා ආශීර්වාද මුද්‍රාවෙන් තැනූ අවුකන ප්‍රතිමාව ප්‍රතිමා නිර්මාණයේ ප්‍රවීණත්වය පෙන්වයි. මෙරට තිබෙන සැතපෙන බුද්ධ ප්‍රතිමා අතර නිර්මාණය හා ආකෘතිය අතරින් ඉතාම වැදගත් තැනක පවතින්නේ පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමය හා තන්තිරිමලේ සැතපෙන පිළිමයයි. අවුකන ප්‍රතිමාවේ මෙන්ම මෙම ප්‍රතිමාවලද සිවුර රැලිගන්වා තිබේ. පොළොන්නරුව යුගයේ ප්‍රතිමා නෙළීමේ ශෛලිය හා තාක්ෂණය හඳුනා ගැනීමට ඉහළම සාධක පවතින්නේ ගල් විහාරයේ ප්‍රතිමා ත්‍රිත්වය තුළය. විදේශීය විද්වතුන් පොළොන්නරුවට එන්නේ එම නිර්මාණ දෙනෙතින් දැක ගන්නටය. මේ සෙල්ලම් කරන්නේ ජාතියේ අනන්‍ය වූ උරුමය සමඟ බව මොවුන්ට නොවැටහෙන්නේ මන්දැයි අපි නොදනිමු.

වර්ෂ 1940 පුරාවිද්‍යා ආඥා පනතේ වගන්තිවලට අනුව පුරාවස්තු හා පුරාවිද්‍යා ස්මාරකවලට හානි පැමිණවීම, විකෘති කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව නෛතික වශයෙන් සඳහන් වේ. එය එසේම සදාචාරාත්මක හා සංස්කෘතික වශයෙන්ද අපරාධයකි. මෙවැනි ක්‍රියා මඟින් දෙන වැරැදි පූර්වාදර්ශය මෙරට අනෙකුත් පෞරාණික ස්මාරකවලටද හානිදායක තත්ත්වයක් ඇති කරනු ඇත. එබැවින් පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව වසා ඇති පොරෝනය ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුය.
පොළොන්නරුව පුරාවිද්‍යා රක්ෂිතයේ කිරිවෙහෙර, තිවංක පිළිම ගෙය ආදී ස්ථාන ගණනාවක විශාල පින්කැට තබා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇති බවද වාර්තා වේ. සියල්ල පරිහානිය කරා ගෙනයන කුමන්ත්‍රණයක් මේ සිදුවන දෑ පිටුපස තිබේ දැයි සැක සිතේ.
උදේනි සමන් කුමාර

උපුටා ගැනීම :මවුබිම.