ඒ යෝජනා මම ප්‍රතික්ෂේප කළා. කතා කරද්දී කෙළින්ම මම බැහැ කියනවා -රුවන්ති මංගලා.- Photos

සෑහෙන කාලේක ඉදලා ඇය පුංචි තීරයේ ආදරණීය අම්මා වුණා. අදටත් ඇය පුංචි තීරයේ අම්මයි. රුවන්ති මංගලා. නපුරු අම්මා අහිංසක අම්මා විතරක් නෙමෙයි ආදරණිය අම්මා වෙන්නත් ඇයට පුළුවන් වුණා. නිර්මාණවලින් ඉදහිට හෝ දකින්න ලැබෙන ඇය ගැන කතා කරන්න හිරු ගොසිප් හිතුවා. මේ රුවන්ති හිරුත් එක්ක කළ කතාබහයි.

මේ දවස්වල පුංචි තිරයත් එක්ක රුවන්ති කාර්යබහුල වෙලාද..?
මම කොයිම වෙලාවකවත් වැඩ බදාගෙන නිර්මාණ දෙක තුනකට එකවර සම්බන්ධ වෙන කෙනෙක් නෙමෙයි. හොද නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. ඒ නිසා නිදහසේ වැඩ කටයුතු කරගන්නවා. ලොකුවට කාර්ය බහුල වෙන්නේ නැහැ.

ඔබව දකින්න ලැබෙන අලුත් නිර්මාණ ගැනත් මතක් කරමු.. ආයෙමත් දකින්නේ අම්මාගේ චරිතයෙන්ද..?
මම අලුත් නාට්‍යකට සම්බන්ධ වුණා. වර්ණ කියලා. මේ නාට්‍යයේ ඉන්නෙත් අම්මාගේ චරිතයම තමයි. නමුත් චරිතය මම මිට කලින් කළ අම්මාගේ චරිත වලට වඩා සෑහෙන වෙනස්. මැදි වියේ ඉදලා වයසට යන චරිතයක් සැමියාගෙන් ඉවත් වෙලා වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙන චරිතයක්. දැන් හදන මෙගාවලට මේ නාට්‍ය හොඳ උත්තරයක් වෙයි. මොකද දැන් බිහි වෙන නාට්‍ය හින්දි නාට්‍යවල කොපිනේ. ස්වයං නිර්මාණ බිහි වෙනවත් අඩුයි. නිර්මාණකරුවන්ට ඕන කොටස් ගණන වැඩි කරගන්නයි. කොලිටි එක බලන්නේ නැහැ. ඒ වගේම චිත්‍රපටියකටත් සම්බන්ධ වුණා.

ඔබ වෘත්තීය රංගන ශිල්පිණියක්. කලාව ගැන ඔබ කලකිරීමෙන් වගේ ඉන්නේ..?
ඔව්. දුකක් තියෙනවා. ඉස්සර බිහිවුණු නිර්මාණ දිහා බලද්දී දැන් බිහිවෙන්නේ මොනවාද කියලා හිතෙනවා. රංගන ශිල්පින් කියන්නේ පිටපතේ තියන චරිතය රගන්න ඕන. නමුත් දැන් දෙබස් විතරයි තියෙන්නේ. රගපාන්න දෙයක් නැහැ. ඒ වගේම අපිම ඇදුම් හදා ගන්න ඕන. බජට් ලෝ.මෑතකදී මට කතා කළ මෙගා නාට්‍ය බොහොමයකට මම අකමැතියි කියලා ප්‍රතික්ෂේප කළා. බැහැ කිව්වත් ආරාධනා නම් ලැබෙනවා.

මවගේ චරිතයෙන් මිදෙන්න කැමති නැද්ද..?
මම රංගනයට ආ කාලේ ඉදලා කාලයක් යනකල් තිරයේ පෙම්වතිය වුණා. දැන් මගේ දුවට වයස 18යි. පුතාගේ වයස 17යි. ලොකු දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මම. මට දැන් පෙම්වතියගේ චරිත රගපාන්න බැහැ. එහෙම වුණොත් ඒක විහිළුවක් වෙයි. මම හිතනවා මම අම්මාගේ චරිත කරන්නේ වෙනස් විදිහට කියලා. ඒ නිසා කොටුවීමක් විදිහට මම දකින්නේ නැහැ. සමහ නිර්මාණකරුවෝ මට කතා කරනවා මිට කලින් රගපෑ අර චරිතයේ අම්මාව මේ පිටපතෙත් ඉන්නේ. ඒ විදිහට හැසිරෙන්න ඕන ඒ චරිතයමයි ඕන කියලා. ඒ යෝජනා මම ප්‍රතික්ෂේප කළා.කතා කරද්දී කෙළින්ම මම බැහැ කියනවා. මම එක තැනකදී කළ චරිත නිරුපණය යළිත් කරන්නේ නැහැ.

ඔබේ දරුවන් දැන් දැනුම් තේරුම් තියෙන වයසක ඉන්නේ. ඔබව විවේචනය කරන්නේ නැද්ද..?
දැන් යන නිර්මාණ දකිද්දී ඒ දෙන්නා වැඩිපුරම කරන්නේ විවේචනය කරන එකයි. මම රගපාන ඒවා බලලත් ඒ දෙන්නා හොද නරක කියනවා. වැඩිපුරම ඉතින් විවේචන තමයි.

දරුවෝ දෙන්නා ඔබට රඟපෑවා ඇති ගෙදරට වෙලා ඉන්න කියන්නේ නැද්ද..?
මම රගපානවට මුල් කාලේ නාමල් කැමති වුණෙත් නැහැ. ඒ නිසා විවාහ වෙලා රගපෑමෙන් ඉවත් වුණා. දරුවෝ දෙන්නා ලැබිලා අවුරුදු හතකට පස්සේ තමයි ආයෙමත් රගපාන්න පටන් ගත්තේ. ඒ මුල් කාලේ මම වැඩවලට ගිහින් පැයක් දෙකක් ගියාට පස්සේ මට කතා කරලා අහනවා අම්මා දැන්මම එන්නේ නැද්ද කීයටද එන්නේ කියලා. දැන් දන්නවා මම ගියොත් එන්නේ හවස් වෙලා කියලා. ඒක දැන් ඒ දෙන්නට පුරුදුයි. නාමල්ගේනුත් මට බලපෑමක් නැහැ. මම කොහොමත් දුර වැඩ දාගන්නේ නැහැ.

මොන දේ කළත් රුවන්ති කියන්නේ වඟකීම් ඉටු කරන මවක් බිරිඳක්ද…?
ඔව්. නාමල්ව විවාහ වුණ දවසේ ඉදලා එයාගේ වැඩ සේරම මගේ අතින් කරලා දුන්නු නිසා අදටත් මම කොහේ ගියත් එයාගේ වැඩ කරලා තමයි යන්න ඕන. දරුවෝ දෙන්නා ගැනත් මම බලනවා. පවුලට මම මුලිකත්වය දෙනවා. වඟකීම් නම් පැහැර හරින්නේ නැහැ.

නාමල්ගේ අසනීප තත්ත්වය දැන් හොදටම සුවයිද..?
දැන් නම් ගොඩක් හොදයි. හොදින් ජිවත් වෙනවා. සංගීත ප්‍රසංග සම්බන්ධ වෙනවා. එයාට උදව් කළ අය නිසයි එයා දැන් මේ තත්ත්වෙන් ඉන්නේ.

ආයෙමත් දේශපාලනයට යොමු වෙන්න රුවන්ති අර අදිනවා කියලා ආරංචියි..?
ගිය වතාවේ උත්සහා කරා. ඒත් අවස්තාවක් ලැබුණේ නැහැ. මම දැන් පදනමක් පවත්වාගෙන යනවා මගේ නමින්. මම කොහොම හරි ආයෙමත් ඡන්දේ ඉල්ලන්න හිතාගෙන ඉන්නේ. කොහොම හරි දේශපාලනය කරන්න ආසාවක් තියෙනවා. අවස්ථාවක් ලැබෙනකල් උත්සහා කරනවා.
උපුටා ගැනීම:හිරු ගොස්සිප්.