ISIS සමග සම්බන්ධ නිසා රටවල් 6ක් එක්ව කටාර් රාජ්‍ය තනිකරයි

ලොවටම පිළිලයක් වී ඇති ISIS ත්‍රස්ථ සංවිධානය සමඟින් සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා ඉල්ලවීම නිසාවෙන් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දමමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල් හයක්‌ ඊයේ (05) තීරණ කර තිබෙනවා.
ඒ අනුව සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන්, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව යන රටවල් මෙලෙස කටාර් රාජ්‍ය සමඟින් පැවති සබඳතා නවත්වා ඇති අතර කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්‌ලක්‌ෂ විසිපන් දහසක්‌ පමණ රැකියාවල නිරතවී සිටිනවා.
එමෙන්ම කටාර් රාජ්‍යයට විරෝධය පළ කරමින් සබඳතා අත්හළ සියලු මැදපෙරදිග රටවල් ඇමරිකාවට පක්‍ෂපාතී රටවල් වන බවත් දැනගන්නට ලැබෙනවා. ඔවුන් සවුදි අරාබියා ගොඩබිම, මුහුද, ගුවන් සීමාව යන අංශ තුනෙන්ම සිය දේශ සීමා වසා දමා ඇති අතර ෆ්ලයි ඩුබායි, එමිරේට්‌ස්‌ සහ එයාර් ඇරෙබියා යන ගුවන් සමාගම් ද කටාර් දක්‌වා ගමන් කළ සිය ගුවන් ගමන් නතර කිරීමට කටයුතු කර තිබෙනවා.
එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය හා ඊජිප්තුව පැය 48 ක්‌ තුළ තම රටින් ඉවත්ව යන ලෙස කටාර් රාජ්‍යයේ තනාපති නිලධාරීන් වෙත දන්වා තිබේ. එසේම එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වාසය කරන සියලුම කටාර් වැසියන්ට දින 14 ක්‌ තුළ එරටින් පිටව යන ලෙසද දන්වා ඇත.
තම රටවල සිටින සියලුම කටාර් වැසියන් හා නේවාසිකයන්ද සති තුනක්‌ ඇතුළත දී පිටව යා යුතු බව සවුදි අරාබිය හා බහරේනය දැනටමත් නිවේදනය කර තිබේ.
මේ අතර රටවල් හයක්‌ තම රට සමඟ පවතින සබඳතා අත්හැරීම පිළිබඳව කරුණු දක්‌වා ඇති කටාර් රාජ්‍යය මෙම තීරණය අයුක්‌තිසහගත හා කිසිදු පදනමක්‌ නොමැති තීරණයක්‌ බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙයින් කිසිදු බලපෑමක් නැතියි විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා සිටිනවා.

ඊයේ රාත්‍රියේ කටාර් සිට ලංකාවට පැමිණි පුද්ගලයන්ගේ කටාර් මුදල් මාරු කිරීම සියලු මුල්‍ය ආයතන අත්හිටවා තියෙනවා. මහා බැංකුව විසින් කටාර් රියාල් මාරු කිරීම අත්හිටවන ලෙස සියලු මුල්‍ය ආයතනවලට දන්වා ඇති බවයි පැවසෙන්නේ..