Slider

ක්ලබ් වසන්ත මරන්න උදවු කළ ටැටූ ෂොප් හිමිකරු සියල්ල වමාරයි



අතුරුගිරිය ප්‍රදේශයම භීතියට පත්කළ වෙඩි තැබීමේ සිද්ධියේ තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.


ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 'සුරේන්ද්‍ර වසන්ත පෙරේරා' නොහොත් 'ක්ලබ් වසන්ත' ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවමින්, සිව්දෙනෙකුට තුවාල වු වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 'ටැටු ආයතනයේ' හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනාවරණ වී ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් ලද කොන්ත්‍රාත්තුවකට අනුව 'ක්ලබ් වසන්ත' නමැති ව්‍යාපාරිකයා සිය ආයතනය විවෘත කිරීමේ උත්සවයට ගෙන්වා ගෙන ඇති බවයි.


ඒ සඳහා ඔහුගේ බැංකු ගිණුමට ඩුබායිවලින් රුපියල් දසලක්‍ෂයක් බැරවී තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.


''ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා.. ඒ ප්ලෑන් එකට අනුව තමයි ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළේ.. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබුණා..” යැයි ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇති බව සඳහන්.


ඒ අනුව වෙඩි තැබීම සිදුවූ අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකුගෙන් මේ වනවිට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.



එම ප්‍රහාරය සිදුවු ස්ථානයේ වැටී තිබූ ටී 56 හිස් පතරොම් කොපුවල KPI යන ඉංග්‍රීසි අක්‍ෂර සටහන් කර ඇති බවයි ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.


ඒ අනුව මේ වනවිට යුරෝපයට පළාගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටත්, 'කංජිපානි ඉම්රාන්' යන නමට අයත් අක්‍ෂර KPI ලෙස එලෙස සටහන් කර ඇති බවටත් පොලීසිය සැක පළකරනවා.



ඊයේ (08) උදෑසන 10.00ට පමණ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි රූපලාවන්‍ය (ටැටූ) ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.


'ක්ලබ් වසන්ත' ඇතුළු පිරිස උඩු මහලේ පිහිටි ටැටූ ආයතනය වෙත ඇතුළු වී විනාඩි කිහිපයක් ගතවනවාත් සමගම, සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි සුදු පැහැති අත් දිග ශර්ට්වලින් සහ සුදු පැහැති මුඛ ආවරණවලින් සැරසී සිටි සන්නද්ධ කුලී ඝාතකයන් දෙදෙනකු එහි කඩාවැදී අදාළ ව්‍යාපාර ස්ථානය පිහිටි උඩුමහලට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පළා යන අයුරු සිසීටීවී දර්ශන හරහා පැහැදිලිව දක්නට ලැබෙනවා.


මුහුණු ආවරණය කරගත් කුලී ඝාතකයන් දෙදෙනා ටී 56 ගිනි අවි දෙකක් රැගෙන ටැටූ ආයතනයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු එහි සිටි පිරිස ඉලක්ක කර හතරඅතට වෙඩි තබා තිබෙන අයුරුද එහි දැක්වෙනවා.



පසුව කුලී ඝාතකයන් දෙදෙනා ඔවුන් පැමිණි සුදු පැහැති මෝටර් රථයේ නැගී පළාගොස් ඇති අතර ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ක්ලබ් වසන්ත ඇතුළු හයදෙනකු රෝහල්ගත කර තිබෙනවා.


කෙසේ වෙතත් රෝහල්ගත කරනවිටත් ක්ලබ් වසන්ත මියගොස් සිටි බව සඳහන්.


රෝහල්ගත කිරීමෙන් පසු 'නයන' නමින් හැඳින්වෙන පුද්ගලයෙකුද මියගොස් තිබෙනවා.


ජීවිතක්ෂයට පත්වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා 55 වන වියේ පසුවන අතර මියගිය අනික් පුද්ගලයා 38 වන වියේ පසුවනවා.


ඔවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව සඳහන්.



එහිදී ක්ලබ් වසන්තගේ බිරිඳගේ පපුව ප්‍රදේශයට ද වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.


ඇයව ශල්‍යකර්මයකට ද භාජනය කර ඇති අතර හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇයගේ තත්ත්වය බරපතල බැවින් මේ වනවිට ඇය කළුබෝවිල රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.


එම උත්සවයට සහභාගී වීම සඳහා ගොස් සිටි ජනප්‍රිය ගායන ශිල්පිනි කේ. සුජීවාගේ වම් කකුලකටද එහිදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබු අතර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඇය යම් ස්ථාවර තත්ත්වයක සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ මහතා කියා සිටියා.


සෙසු තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලේ සහ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.




මෙම ප්‍රහාරයෙන් පසු අතුරුගිරිය පොලීසිය, නුගේගොඩ අපරාධ කොට්ඨාශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පුළුල් විමර්ශන ආරම්භ කළා.


පළාගිය ඝාතකයන්, ඔවුන් පැමිණි සුදු පැහැති මෝටර් රථය නවගමුව කොරතොට ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබු අතර සීසීටීවී කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමේදී හෙළි වූයේ, ඝාතකයන් මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ අතහැර දමා, සුදු පැහැති වෑන් රථයක නැගී පළායන බවටයි.


අත්අඩංගුවට ගත් මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී එය ව්‍යාජ අංක යෙදූ මෝටර් රථයක් බවට හෙළිවී තිබෙනවා.



ඊයේ (08) පස්වරු 6.15ට පමණ 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව බුලත්සිංහල අයගම දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී වෙඩිකකරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයද සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.




මේ අතර සන්හිල් හෝටල් සමූහයේ හිමිකරු වූ ක්ලබ් වසන්ත, ව්‍යාපාර රැසක හිමිකරුවෙකි. කාන්තාවන් විදේශ රැකියා සඳහා යැවීම ඇතුළු තවත් ව්‍යාපාර රැසක් ඔහු විසින් කරගෙන ගොස් ඇති අතර පසුගිය කාලසීමාවේදී ක්ලබ් වසන්තගේ සන්හිල් හෝටල් කිහිපයක් විකුණා දමා තිබුණා.


එම හෝටල් අලෙවියෙන් ලැබූ මුදල් ඔහු විසින් ලබාගත් ණය ගෙවා දැමීම සඳහා යොදාගත් බව සඳහන්.


නුවරඑළියේ, කොළඹ මැරැයින් ඩ්‍රයිව් සහ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශවල සන්හිල් හෝටල් ඉදිකර තිබී ඇති අතර කොළඹ රාත්‍රී සමාජශාලා කිහිපයකම හිමිකරුවකු ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.


රටේ ප්‍රබල දේශපාලනඥයන්, ජනප්‍රිය ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, ධනවතුන්, ප්‍රභූන්, උසස් ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයෙක් වන ක්ලබ් වසන්ත මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනෙකු ද ඇසුරු කළ බවට තොරතුරු ඇති බවයි පොලීසිය පැවසුවේ.


මීට වසර කිහිපයකට පෙර ඝාතනයට ලක්වූ මෙරට පාතාලයේ වර්තමාන ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වූ 'මාකඳුරේ මධුෂ්' ක්ලබ් වසන්තගේ සමීප හිතවතකු බවත් සඳහන්.


මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ උපන්දින සාදය සඳහා ක්ලබ් වසන්ත ද සහභාගිවීමට සිටි නමුත්, ගුවන් ගමන් ප්‍රශ්නයක් හේතුවෙන් ඔහුට ඊට සහභාගිවීමට ඉඩ ලැබී නැහැ.


කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට නිශ්චිත හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් ද? එසේත් නැත්නම් පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවූයේ ද යන්න සොයා පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.



මේ අතර අදාළ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ 'ක්ලබ් වසන්ත' ගේ බිරිඳගේ අත්බෑගයේ තිබී රිවෝල්වරයක් හමුව තිබෙනවා.


මේ වනවිට එය පොලිස් භාරයට ගෙන ඇති අතර, එම රිවෝල්වරය සඳහා බලපත්‍ර තිබෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන්ද පොලීසිය සොයා බලන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ.




0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas